ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5 ක බැඳුම්කර විකුණයි

    July, 12, 2016

    ශ්‍රී ලංකා රජය ඊයේ (12) දිනයේ දී කැඳවන ලද ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය නිවේදනය කර සිටී.

    මේ සඳහා ඩොලර් බිලියන 6.6 ක ඇණවුම් ඉදිරිපත් වී තිබුණු බවත් අවම පිරිවැයක් යටතේ මෙම ඩොලර් බිලියන 1.5 ක මුදල රැස් කර ගැනීමට හැකි වුණු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රොයිටර් පුවත්සේවය වෙත පවසා තිබේ.

    මෙම බැඳුම්කර නිකුතුවේ දී වසර 5 ½ කින් කල්පිරෙන පරිද්දෙන් ඩොලර් මිලියන 500 ක් සහ වසර 10 කින් කල්පිරෙන ඩොලර් බිලියනයක් පරිද්දෙන් බැඳුම්කර අලෙවි කොට ඇත. වසර 5 ½ බැඳුම්කර සඳහා 5.75% ක් සහ වසර 10 සඳහා 6.825 ක් ලෙසින් පොළී අනුපාතික තීරණය වී තිබේ.

    මෙම බැඳුම්කර දෙවර්ගය සඳහා ලොව පුරා ආයෝජන ගිණුම් 200 කට අධික සංඛ්‍යාවකින් ඇණවුම් ඉදිරිපත් වී ඇත.

    එහිදී වසර 5 ½ බැඳුම්කරය සඳහා 35% ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ද, 37% ක් යුරෝපයෙන් සහ ඉතිරිය ආසියානු කලාපයෙන් ද ඇණවුම් ඉදිරිපත් වී තිබේ. මෙම නිකුතුවෙන් 85% ක ආයෝජන අරමුදල් කළමනාකරුවන් හරහා රැස් කර ගෙන ඇත.

    වසර 10 බැඳුම්කර නිකුතුව සඳහා ලැබුණු ආයෝජනවලින් 62% ක ආයෝජන ඇමරිකා එක්සත් ජනපදයෙන් ද 28% ක් යුරෝපයෙන් ද, 10% ක් ආසියානු කලාපයෙන් ද ලැබී ඇත. එහිදී 91% ක් පැමිණ තිබෙන්නේ අරමුදල් කළමනාකරුවන් හරහා ය.

    මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙසින් Citi, Deutsche Bank, HSBC සහ Standard Chartered යන ජාත්‍යන්තර බැංකු සමාගම් පත්කර තිබිණි.