ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 37ක් විදේශයන්ට ණයයි

    November, 3, 2025

    2025 මුල් මාස 06දී ඩොලර් මිලියන 863ක ණය වාරික ගෙවද්දී ඩොලර් මිලියන 495ක ණය පොලී ගෙවලා

    2025 ජූනි මාසය අවසන් වන විට රජය ලබාගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 37.1ක් බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ.

    මෙම වාර්තාවට අනුව රජයේ මුළු විදේශ ණයවලින් 36%ක් බහුපාර්ශවික ණය වන අතර, වාණිජ ණය 34%ක් ද ද්විපාර්ශවික ණය 30%ක් ද වේ. වාණිජ ණයවලින් ආසන්න වශයෙන් 81%ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් සමන්විත වන අතර, ඉතිරිය විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම්වලින් සමන්විත වේ.

    බහුපාර්ශවික ණයහිමියන් අතරින්, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංගුව එක්ව මුළු බහුපාර්ශවික ණය ප්‍රමාණයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි. ද්විපාර්ශවික ණයවලින්, 59%ක් පැරිස් සමාජ නොවන ණයහිමියන් සතු වූ අතර ඉතිරි 41%ක පැරිස් සමාජ සාමාජික රටවලින් සමන්විත වේ.

    2025 ජනවාරි 01 දින සිට ජූනි 30 වන දින දක්වා මුළු ණය සේවාකරණය ඇ.ඩො. මිලියන 1,358.9ක් වූ අතර, එයින් ඇ.ඩො. මිලියන 863.6ක් ණය වාරික ආපසු ගෙවීම සඳහා යොදවා ඇති අතර, ඇ.ඩො. මිලියන 495.3ක ප්‍රමාණය පොලී ගෙවීම් සඳහා යොදවා ඇත.

    2025 ජූනි මස අවසානය වන විට නොපියවූ විදේශ ණය හිඟ ගෙවීම් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්ථ දක්වා ඇති පරිදි විදේශ ණය හිඟ ගෙවීම් යනු ගිවිසුම්ගත ගිවිසුම්වලට නිශ්චිතව දක්වා ඇති පරිදි, අදාළ සහන කාලයකට යටත්ව, නියමිත කාලසීමාවේ දී ගෙවා නොමැති අනේවාසික ණය-සේවා බැඳීම් (මූලික ගෙවීම් සහ පොලී ගෙවීම්) වේ.

    කෙසේවෙතත් මතභේදයට තුඩු දී ඇති හිඟ ණය සහ ණය සේවා බැඳීම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අධීක්ෂණය සඳහා විදේශ ණය හිඟ ගෙවීම් ලෙස නොසැලකේ. එනම්, නැවත කාලසටහන්ගත කිරීමේ හෝ ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමක් අපේක්ෂා කරන ණය සේවාව නොගෙවීමෙන් ඇතිවන හිඟ මුදල් මෙම අර්ථ දැක්වීමෙන් බැහැර කර ඇත.