ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති ප්‍රයත්න අතිශෝක්තියෙන් දක්වන්නක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි

    November, 4, 2015

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (2015 නොවැම්බර් 3 වනදා) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය දූෂණය පිටුදැකීමටත්, සොරකම් කරන ලද රාජ්‍ය දේපොළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හා දූෂණ මැඬලීම වෙනුවෙන් අදාළ විමර්ශන ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.

    විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනතා වරමින් පසුව පිහිටුවන ලද අනිකුත් විමර්ශන යාන්ත්‍රණයන් ගැනත් නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සැකෙවින් විස්තර කළේය.

    දූෂණයට එරෙහිවීම යනු පසුගිය රජය සමයේ හුදෙක් වචන මාත්‍රයක් පමණක්ව තිබූ රටක, යහපාලන සංස්කෘතියක් අරමුණු කරගෙන ගන්නා ලද ඉහතින් සඳහන් කරන ලද සියලු පියවර සැබෑම වෙනසක් යැයි, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය. දූෂණය මර්දනය කිරීම සඳහා සහාය වන ලෙස සම්මුතිවාදී රජය සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප්‍රජාව ධෛර්යමත් කරන බවද ඔහු සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගීවන අතරතුර නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රටවල් කිහිපයක නියෝජිත පිරිස් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්වීය.

    සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වූයේ එක්සත් ජාතීන්ගේ වියනාහි ශ්‍රී ලංකා තානාපති/නිත්‍ය නියෝජිත ඒ. එල්.ඒ. අසීස් මහතා, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, සොරකම් කරන ලද දේපොළ අත්පත් කර ගැනීම පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාර මහතා සහ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සමන්ත පතිරණ යන මහත්ම මහත්මීන්ය.

    ඡායාරූප සටහන - නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමුළුව අමතමින්