ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණීමේ ඉලක්කය සපුරයි

    July, 1, 2024

    මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව මෙරටට පැමිණි දශ ලක්ෂය වැනි සංචාරකයා වූයේ UL 504 ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි අයර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන සංචාරක යුවලයි.

    මේ සම්බන්ධයෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව පසුගිය දා ඔවුන්ව පිළිගැනීමට කටයුතු කළේය.

    මෙය ඔවුන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වන අතර ඔවුන් ත්‍රිකුණාමලයෙන් තම සංචාරය ආරම්භ කර සති තුනක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.