ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසරේදී ?

    April, 22, 2015

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කිරීමේ අරමුණෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි අනාවරණය වේ.

    මේ අනුව, ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේදී (Sri Lanka-Japan Business Cooperation Committee) සාකච්ඡා වී තිබෙන්නේ මෙම වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට සැලසුම් කිරීමටයි.

    ශ්‍රී ලංකාවේ වෙසෙන ජපාන තානාපති Nobuhitho Hobo සමග කොළඹදී පසුගියදා පැවති ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටු (Sri Lanka-Japan Business Cooperation Committee) රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙන අතර මෙම නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඇතුළත් කළ යුතු අංශ පිළිබඳව පුළුල් අධ්‍යනයක් කිරීමට කමිටුව තීරණය කර තිබේ.

    මෙම අධ්‍යනයෙන් පසුව මේ පිළිබඳව මෙරට රජයට වාර්තාවක් ලබාදීමට ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුව (Sri Lanka-Japan Business Cooperation Committee) තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට නිදහස් වෙළඳ ගිවිසුමක් තිබෙන අතර එම ගිවිසුම තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුම අත්සන් කිරීම සඳහාද මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

    මීට අමතරව, චීනය සමගද නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට පසුගිය රජය විසින් අදහස් කර තිබුණත් මේ වනවිට එම සාකච්ඡා යටපත් වී ඇත.