ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා

    January, 24, 2025

    දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදුවූ දේශපාලන වෙනස මනා පිටුවහලක් වනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු පිළිබඳ කොමසාරිස් හා බටහිර ඉන්දියාව සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් හර්ජින්දර් කන්ග් (Harjinder Kang) මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) පස්වරුවේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමුවූ අවස්ථාවේදීය.

    මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා ද එක් විය.

    දේශීය අගය එකතු කිරීම මගින් ඉහල වටිනාකමක් ඇති මෙරට දේශීය නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහාත්, එරට ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහාත් මෙම අවස්ථාව වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි බව හර්ජින්දර් කන්ග් මහතා එහිදී ප්‍රකාශ කලේය.

    එහි දී අමාත්‍යවරයා කියා සිටියේ ජනතාව ලබා දී ඇති පැහැදිලි ජනවරම මෙරට වසර ගණනාවක් පැවැති දූෂණ අක්‍රමිකතා තුරන් කිරීමට ලැබුණු එකක් බවයි.

    එම ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් ජාත්‍යන්තරය පිළිගන්නා, විදේශ ආයෝජන කෙරෙහි වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය. විශේෂයෙන් ම සෑම රටක් සමගම සුහදව කටයුතු කරමින් ඔවුන් සමග ඇති ආයෝජන අවස්ථාවන් ව්‍යාප්ත කරලීම සඳහා රට තුළ පෙර පැවැති බාධාවන් ඉවත් කිරීම වර්තමාන රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා කියා සිටියේය.

    ඒ සඳහා විනිවිදභාවය ඇති කිරීම සහ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරය නිර්මණ කිරීමේ රජයේ අපේක්ෂාව අමාත්‍යවරයා ඔවුන් හමුවේ පැවැසීය.

    භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම වෙළෙඳ හා නාවික කටයුතු සඳහා වඩාත් නැඹුරුතාවක් ඇති බව පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් අවධානයට ලක් නොවූ ආයෝජන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා ද රජය උත්සුක
    වන බවයි.