ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ‘General Insurance Summit 2023’ සාර්ථක අන්දමින් පවත්වයි

    June, 15, 2024

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited - SLICGL) විසින් සංවිධානය කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’ යන තේමාව යටතේ 2024 මාර්තු මස 22 සහ 23 යන දිනවල මීගමුව Jetwing Blue හෝටලයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 2023 වසරේ මාර්තු මස සිට අගෝස්තු මස දක්වා මාස 6 ක කාලයක් තුළ සමාගමේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූ අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

    දින දෙකක් පුරා විවිධ වූ ක්‍රියාකාරකම් හා සැසිවලින් සමන්විත වූ මෙම වැඩසටහන ඔස්සේ දැනුම, කුසලතා වර්ධනය කරගැනීමටත්, අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් කරගැනීමත්, ජයග්‍රාහකයින්ගේ කැපවීම ඇගයීමෙන් ඔවුන්ගේ දැනුම හා උද්යෝගය වැඩි දියුණු කිරීමත් මෙහි අරමුණු විය.

    මෙම වැඩසටහනේදී SLICGL හි 3000කට අධික අලෙවි බලකාය අතරින් 'General Insurance Summit Sales Drive’ හි විශිෂ්ටතම කාර්යය සාධනයක් පෙන්නුම් කරමින් ආයතනයේ විකුණුම් ඉලක්ක සපුරාලන්නට කැපවීමෙන් කටයුතු කළ ජයග්‍රාහකයින් ඇගයීම සිදු විය.

    ප්‍රධාන කාර්යාලය සහ ශාඛා කාර්යාල, බැංකු රක්ෂණ හා ආයතනික විකුණුම් අංශ නියෝජනය කරන රක්ෂණ උපදේශකවරුන්, අලෙවි විධායකවරුන්, සහකාර විකුණුම් කළමනාකරුවන්, විකුණුම් කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, ආයතනික විකුණුම් නිලධාරීන් සහ ආයතනික විකුණුම් අධීක්ෂකවරුන් රැසක් මෙහිදී ඔවුන්ට අදාළ කාණ්ඩ යටතේ විවිධ ඇගයුම්වලින් පිදුම් ලැබූහ.

    එමෙන්ම වැඩසටහනට සහභාගී වූවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා, ක්ෂේත්‍රයේ ප්‍රකට සම්පත්දායකයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසි කිහිපයක්ද පැවැත්විණි. මෙහිදී සම්මානලාභී පුහුණුකරුවෙකු, උපදේශකවරයෙකු මෙන්ම PHOENIXSPIRE (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන භාතිය අර්ථනායක මහතා, ව්‍යාපාර ලෝකයේ අභියෝග වටහා ගැනීම, පෞද්ගලික සංවර්ධනයේ වැදගත්කම සහ ඵලදායී අලෙවි සහ විකුණුම් ක්‍රමෝපායන්හි වැදගත්කම සම්බන්ධයෙන් සභාව දැනුවත් කළේ ය. එමෙන්ම ව්‍යවසායකයෙකු සහ බදු උපදේශකවරයෙකු වන විරාජ් හේනෙගෙදර මහතා ඩිජිටල්කරණය, ඵලදායී සමාජ මාධ්‍ය භාවිතය, පෞද්ගලික මුල්‍ය කළමනාකරණය සහ බදු කළමනාකරණ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අදහස් දැක්වී ය.

    මේ ආකාරයට දැනුම සහ මගපෙන්වීම ලබාදීමට අමතරව වැඩසටහනට සහභාගී වූවන්ට එකිනෙකා සමග සම්බන්ධ වෙමින් සුහදත්වය ගොඩනංවා ගනිමින් විනෝදාස්වාදයක් ලබාගැනීමටත් අවස්ථාව සලසා දී තිබිණි.

    General Insurance Summit 2023 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් සමාගමේ සාමාජික සාමාජිකාවන්ගේ සාර්ථකත්වය අගයන අතරම එම සාර්ථකත්වය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය මගපෙන්වීම හා දිරිගැන්වීම ලබාදුන් සුවිශේෂී වැඩසටහනක් විය. එමෙන්ම General Insurance Summit 2023 මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ තිරසර වර්ධනය උදෙසා සමාගම දරන උත්සාහය මැනැවින් නිරූපණය කළ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ.