ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, ගංවතුරෙන් විපතට පත් ප්‍රජාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

    January, 22, 2026

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය.

    පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින ගැටළු සඳහා ක්ෂණිකව මැදිහත්වෙමින් ඒවා විසඳීමට පියවර ගනු ලැබීය. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ පිරිසිදු කිරීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම, ආපදාවන්ට මුහුණදුන් ප්‍රජාවන් වෙත සහාය වීම, පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, විදුලි අවදානම් සහ ජලයෙන් බෝවන රෝග සහිත පරිසරයක සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

    රටේ ජන ජීවිත නැවත ගොඩනැගීමට හා දිගුකාලීනව ශක්තිමත් කිරීමට රක්ෂණකරුවෙකු ලෙස සහ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අත්වැල් බැඳගැනීම, සමාගම සතු දිගු කාලීන දැක්ම පිළිඹිබු කිරීමට සමත් විය.

    මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, බදුල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශ කේන්ද්‍ර කරමින්, දිවයිනේ  දිස්ත්‍රික්ක 18 ක් ආවරණය කළේය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ ලයිෆ් නියෝජනය කරමින්, එක් ප්‍රදේශයකින් 50 දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන් සම්බන්ධීකරණය කිරීම, පහසුකම් සලසාදීමේ කටයුතු ප්‍රාදේශීය කළමනාකරුවන් විසින් මෙහෙයවන ලදී.

    මෙම වැඩසටහනෙන් ගංවතුරට යට වූ පාසල් පිරිසිදු කර නැවත යථා තත්ත්වයට පත් කරන ලද අතර, දරුවන්ට පන්ති කාමරවලට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට සහාය විය. පන්සල් සහ පල්ලි ප්‍රතිසංස්කරණය කිරීම මගින් ප්‍රජාවන්ට, ඔවුන්ගේ ආගමික ස්ථාන සහ සංස්කෘතික උරුමයන් සමඟ නැවත සම්බන්ධ වීමට අවකාශය සැලසුණි. ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කර එහි හිමිකරුවන්ට තම ජීවනෝපායන් නැවත ආරම්භ කිරීමට සහ දේශීය ආර්ථිකයන් නැවත වර්ධනය කිරීමට සහාහය ලබා දුන්නේය. නිවාස විෂබීජහරණය කොට පිරිසිදු කිරීම හරහා පවුල්වලට ඔවුන්ගේ දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ආරක්ෂිත වටපිටාව සලසා දීමට හැකි විය.

    SLIC හි ස්වේච්ඡා සේවකයින් ආපදා ප්‍රදේශවල දුෂ්කරතාවයන්ට සහ සෞඛ්‍ය අවදානම් වලටද මුහුණ දෙමින්, විදුලි අනතුරු සහ ජලයෙන් බෝවන රෝගවලින් තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළේය. දකුණු පළාත් කණ්ඩායම් 2ක්, බදුල්ල ප්‍රදේශයේ ගංවතුරෙන් හානියට ලක් වූ වාරිමාර්ග පද්ධති පිළිසකර කළ අතර එහි තවදුරටත් ඉවුරු ඛාදනය වීම් වැළැක්වීම සඳහා තාවකාලිකව වැලි කොට්ට දමා බැමි සකස් කරන ලදී. SLIC ලයිෆ් හි ප්‍රාදේශිය කණ්ඩායම ඌව ප්‍රදේශයේ දී ගංවතුරෙන් පීඩාවට පත් පවුලක් සඳහා නව මුළුතැන්ගෙයක් ද ඉදිකර දෙන ලදී.

    SLIC විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම සමාජ සුභ සාධන වැඩසටහන, ගංවතුර ව්‍යසනයෙන් විපතට පත්වූ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වූ සහයෝගීතා වැඩසටහනක් වූ අතර, එය සියලු දෙනාටම නැවත යථා තත්ත්වයට පත් වීමට සහ එක්ව ඉදිරියට යාම සඳහා වූ පුරෝගාමී වැඩසටහනක් විය.