March, 3, 2026
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද 'Adventure Plus' පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරයි.
Adventure Plus යනු කඳු නැගීම, බයිසිකල් පැදීම, ජල ක්‍රීඩා සහ වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම් වැනි ඉහළ අවදානමක් සහිත විනෝදාංශ සඳහා වෛද්‍ය ආවරණය, අනතුරු ආරක්ෂණය සහ හදිසි අවස්ථාවකදී මුදාගැනීමේ පහසුකම් සලසා දෙනු ලබන, නවීනත්වය මුසු වූ පුරෝගාමී රක්ෂණ ක්‍රමයකි. සංචාරකයින් සතුව දැනට පවතින රක්ෂණ ආවරණය කුමක් වූවද, එම රක්ෂණ හරහා ලබාගත නොහැකි ආකාරයේ ආරක්ෂාවක් ඔවුන්ට මෙම නව රක්ෂණාවරණය මගින් හිමිවේ. සංචාරකයෙකු සතුව දැනට පවතින රක්ෂණ ආවරණයේ වෙනසක් සිදු නොකර, එම සාමන්‍ය රක්ෂණය මගින් ආවරණය නොවන දේ 'Adventure Plus' හරහා ආවරණය වීම මෙහි ඇති විශේෂත්වයයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධත්වයන්ගෙන් වැඩි දියුණු වී ඇති අතර, වෙරළබඩ මුහුදු තීරය, වනජීවීන් හා රක්ෂිත සහ ත්‍රාසජනක සංචාරක ප්‍රදේශ වෙත සංචාරකයින් ආකර්ෂණය වී තිබේ. මෙම රක්ෂණ ආවරණය මගින් සංචාරක මෙහෙයවන්නන්ට, නියෝජිතයින්ට සහ සංචාරකයින්ට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පහසු වූ සෘජු ක්‍රමවේදයක් සලසා දෙනු ලබයි.
ජාතියේ රක්ෂණකරු ලෙස SLICGL, ජාතික ප්‍රමුඛතාවන් සපුරාලමින්, ප්‍රජාවන් සුරක්ෂිත කරමින් සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වෙමින්, නව රක්ෂණ විසඳුම් හඳුන්වාදීමට අඛණ්ඩව කටයුතු කරයි. Adventure Plus හරහා එය මනාව පිළිඹිබු වන අතර, ඕනෑම අවස්ථාවක තමන් සුරක්ෂිත බව දන්නා සංචාරකයින් හට, කිසිඳු බියකින් තොරව, ත්‍රාසය දනවන අත්දැකීම් විඳගැනීමට මෙම රක්ෂණ ආවරණය අවකාශය සලසා දේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority - SLTDA) සමඟ සහයෝගීතාවය ඇතිව වැඩි දියුණු කරන ලද මෙම රක්ෂණ විසඳුම තුළින් විශ්වාසදායක, සාධාරණ සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහිත සංචාර සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ඉස්මතු කරයි.
පුද්ගලයෙකුට දින 30ක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 8ක් වැනි මුදලකට Adventure Plus රක්ෂණ ආවරණය ලබාගත හැකිය. අවදානම් සහිත ක්‍රියාකාරකම් සඳහා සුරක්ෂිතභාවය සලසන මෙම රක්ෂණ විසඳුම හරහා සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ විවිධ වූ භූ විෂමතා සහිත ප්‍රදේශ විශ්වාසයෙන් යුතුව නැරඹීමේ හැකියාව ලබා දෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගුවන්තොටුපළේ පිහිටි සිය තොරතුරු සේවා කවුළු හරහා සංචාරකයින්ට හට මෙම රක්ෂණ විසඳුම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර, ඒ මගින් ඔවුන් මෙරටට පැමිණි මොහොතේ සිටම මේ පිළිබඳව දැනුම්වත් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සමීර ධර්මසේන මහතා මෙසේ පැවසීය. "කඳුකරයේ සිට මුහුදු වෙරළ තීරය දක්වා, වනාන්තරවල සිට මුහුදු රළ මත ලිස්සා යාම දක්වා, ශ්‍රී ලංකාව අසමසම අත්දැකීම් ලබා දෙනවා. යම් විදියකින් හදිසි අනතුරක් සිදු වුවහොත්, තමන් සුරක්ෂිත බවට වන විශ්වාසය සමඟ සංචාරකයින්ට මේ සියල්ල නැරඹීමේ අවස්ථාව ලබා දීමට අපට අවශ්‍යයි. අපගේ තේමාව වන්නේ 'සතුට ඔබ සතුයි; ආරක්ෂාව අප සතුයි' යන්නයි. ජාතියේ රක්ෂණකරු ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනයට සහය ලබා දීම අපගේ වගකීමක් වන අතර, Adventure Plus යනු එම කැපවීම බලගැන්වූ සහතිකයි."
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, බුද්ධික හේවාවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''ලොව හොඳම ත්‍රාසජනක අත්දැකීම් සහිත සංචාරක ගමනාන්තයන් සඳහා අවශ්‍ය කරන ස්වභාවික පරිසරයන්, සංස්කෘතික වටපිටාවන් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. අපට අවශ්‍යව තිබුණේ ඊට සරිලන යටිතල පහසුකම් නිර්මාණය කර ගැනීම පමණයි. Adventure Plus යනු, ශ්‍රී ලංකාව වගකීමක් සහිතව, සංචාරකයින් සඳහා හිතකර ගමනාන්තයක් ලෙස, මෙරටට පැමිණෙන සංචාරකයින්ට සැබෑ ආරක්ෂාවක් දැනෙන ස්ථානයක් බවට පත් කිරීමට තැබූ අර්ථවත් පියවරක්. SLICGL සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය, රටේ සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා විශාල පිටුවහලක් වනු ඇත.''
විවිධ සංචාරක නාලිකා හරහා විදේශ සංචාරකයින්ට මේ සඳහා ඇති ප්‍රවේශය සහ පහසුකම් තහවුරු කෙරේ. එමෙන්ම, Adventure Plus සඳහා දැරිය හැකි මිල සහ සුවිශේෂී ආවරණය හේතුවෙන්, සංචාරකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත්, ජාතික දළ ලිඛිත වාරිකය (Gross Written Premium - GWP) සඳහා සාධනීය දායකත්වයක් ලබා දීමටත්, වගකීම් සහගත වූ ත්‍රාසජනක අත්දැකීම් සහිත සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිළිගැනීම තවදුරටත් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරයි.
Adventure Plus ආවරණය https://slicgeneral.lk/ වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

Video Story