November, 17, 2025
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා අත්සන් කරන ලදී.
මෙම අවබෝධතා ගිවිසුම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ජයන්ත දේවසිරි මහතා විසින් ආයතන දෙකෙහි නිලධාරීන් ඉදිරියේ අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026, 2026 ජුනි මාසයේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වීමට නියමිතය. මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්ත, නිෂ්පාදන, සේවා සහ ආයෝජන අවස්ථා ගෝලීය වෙළඳපොළට ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රමුඛ වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.
දින හතරක් තුළ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට අපනයනට සූදානම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු අපනයනකරුවන් 750ක් සහ ලොව පුරා සිටින ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 1,500ක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
"SLIM සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස ස්ථානගත කිරීමේ උපායමාර්ගික පියවරක් නියෝජනය කරන" බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ජයන්ත දේවසිරි මහතා කියා සිටියේ "මෙම ජාතික මුලපිරීමට SLIM ආයතනයේ ප්‍රවීණත්වය දායක කිරීමට හැකියාව ලැබීම ආයතනයට ගෞරවයක්" යනුවෙනි.
අවබෝධතා ගිවිසුම යටතේ, SLIM විසින් ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා නොමිලේ විස්තීර්ණ උපදේශන සේවා සපයනු ඇත. මෙයට නිර්මාණාත්මක අන්තර්ගතයන් සහිත සන්නාම නිර්මාණය සහ සංවර්ධනය කිරීම, ප්‍රවර්ධන ද්‍රව්‍ය සකස් කිරීම සහ මාධ්‍ය හමු සහ එළිදැක්වීමේ උත්සව සංවිධානය කිරීමට සහය වීම ඇතුළත් වේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සහ අදාළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ සහයෝගීව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කරමින් සිටී.
Video Story