ශ්‍රී ලංකා ටෙලිකොම්, විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යයි

    March, 12, 2014

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් වනබව අනාවරණය වේ.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මේ සඳහා සමාගම විසින් අනුමැතිය ඉල්ලා තිබෙන බවත් මෙම විශ්ව විද්‍යාලය කොළඹ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

    මෙම විශ්ව විද්‍යාලයේ විදුලි සංදේශ අංශයට අදාළ උපාධි පාඨමාලා පැවැත්වීමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    රජය විසින් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට මේ වනවිට අවස්ථාව උදාකර තිබෙන අතර පසුගියදා බ්‍රිතාන්‍යයේ සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කිරීමට ගම්පහ ප්‍රදේශයේ මුල්ගල් තැබීය.

    ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පැවසුවේ ඩොලර් මිලියන 150 ක් පමණ ආයෝජනය කරන සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්ව විද්‍යාල ශාඛාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙන බවයි.

    ශ්‍රී ලංකාවේ ඉදිකරන පළමු පුද්ගලික විශ්ව විද්‍යාලය වන මෙහි ඉදිකිරීම් සඳහා රජය විසින් අක්කර 100 ක ඉඩමක් 99 අවුරුදු බදු පදනම මත සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයට ලබාදී තිබේ.

    මේ ආකාරයෙන් රජය විසින් පුද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙන්නේ ලංකාව කළාපයේ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා වන අතර සාක්ෂරතාවය හා ඉංග්‍රිසි දැනුම ඉහළ ශ්‍රී ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් තිබෙන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.