October, 28, 2025
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

ආචාර්ය සී. අමරසේකර මහතා
ආචාර්ය අමරසේකර මහතා වසර 22කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ආචාර්ය අමරසේකර මහතා ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම්, පහසුකම් කළමනාකරණ මෙන් ම සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති තනතුර දැරීය. එමෙන් ම ඔහු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළේ ය.
2022 ජනවාරි- 2024 පෙබරවාරි දක්වා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැර සිටියේ ය.
ආචාර්ය අමරසේකර මහතා මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වීමට ප්‍රථම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවට අමතර ව, ආචාර්ය අමරසේකර මහතා මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුවේ, වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුවේ සහ අවදානම් කළමනාකරණ කමිටුවේ ද සමාජිකයෙකු වේ. ඔහු මේ වනවිට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. මීට පෙර ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන් ම ජාතික විද්‍යා පදනමේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
මුදල් ප්‍රතිපත්තිය සහ අනෙකුත් මහ බැංකු තේමා පිළිබඳ ව ආචාර්ය අමරසේකර මහතාගේ පර්යේෂණ පත්‍රිකා විවිධ ජාත්‍යන්තර සහ දේශීය පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඒවා පුළුල් පිළිගැනීමකට සහ බොහෝ පර්යේෂක උපුටා ගැනීම්වලට ලක් ව ඇත. එමෙන් ම, ඔහු 2015 - 2020 කාලයේ දී මහ බැංකුවේ පර්යේණ සඟරාව වන මාණ්ඩලික පත්‍රිකා මාලාවේ සංස්කාරක ලෙස ද කටයුතු කළේ ය. ඔහු විවිධ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ බැංකු විදු පියෙස ඇතුළු ව විවිධ අධ්‍යයන හා වෘත්තීය ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු, විභාග පරීක්ෂකවරයෙකු සහ ප්‍රශ්න විචාරකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇත.
එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එම විශ්වවිද්‍යාලයෙන් ම විශිෂ්ට සාමාර්ථයක් සහිත ව ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇති ආචාර්ය අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව ගෞරව උපාධිය ලබා ඇත. එමෙන් ම ඔහු නීතීඥවරයෙකු ද වේ.

කේ.ජී.පී. සිරිකුමාර මහතා
කේ.ජී.පී. සිරිකුමාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර වසර 25කට අධික කාලයක් විවිධ තනතුරු දරමින් සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ඔහු සහකාර අධිපතිවරයෙකු ලෙස වරින් වර, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, තැන්පතු රක්ෂණ, මූල්‍ය අංශ නිරාකරණය, මූල්‍ය සහ අනෙකුත් ආයතනික සේවා ඇතුළු කාර්යයන් ගණනාවක් අධීක්ෂණය කළේ ය.
සිරිකුමාර මහතා බැංකු හා මූල්‍ය අංශය, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි නීති ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ඔහු මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා නිරාකරණ හා බලගැන්වීමේ ක්‍රියාමාර්ග මෙන් ම, බැංකුව තුළ දැඩි යහපාලන සම්මත හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඔහු ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය ස්ථායීතා කමිටුවේ, මූල්‍ය අවදානම් කළමනාකරණ කමිටුවේ, මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන් ම 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ පත් කරන ලද විද්වත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ සහ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයකු ලෙස ද කටයුතු කර ඇත.
වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
සිරිකුමාර මහතා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබා ඇත. නීතීඥයකු වන ඒ මහතා එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයේ සාමාජිකත්වය දරයි. එසේ ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමා ලබා ගෙන ඇත.
Video Story