December, 15, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව, මහ බැංකු, මුදල් අදිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර, කාලීන තේමා ඔස්සේ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කරන ලදී. 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ලොව නන් දෙසින් විද්‍යාර්ථින් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහා ප්‍ර ධාන දේශන පවත්වා ඇත.
මෙ වසරේ සමුළුව ‘අභියෝගාත්මක ගෝලීය සහ දේශීය වාතාවරණයක් තුළ තිරසාර සංවර්ධනය සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති‘ යන පුළුල් තේමාව යටතේ පවත්වනු ලැබීය. මේ සඳහා විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩල සහ පර්යේෂණ ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී විය.
මෙම සමුළුවෙහි ප්‍රධාන දේශනය, පසුගිය දශක කිහිපය තුළ ඉන්දියානු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඉන්දියානු ජනරජයේ ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආචාර්ය මොන්ටෙක් සිං අළුවාලියා විසින් පවත්වනු ලැබීය. විශ්වසනීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් වෙළෙඳපොළ අපේක්ෂිත දිශාව වෙත මෙහෙයවීම සඳහා මහ බැංකුවලට ඇති හැකියාවෙහි වැදගත්කම ආචාර්ය අළුවාලියා සිය ප්‍රධාන දේශනයේ දී අවධාරණය කළ අතර, එහිදී ගුණාත්මක පර්යේෂණ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළේය. එපමණක් නොව, නිසි මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ රාජ්‍ය මූල්‍ය මෙවලම් භාවිතා කරමින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කිරීමට මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය අධිකාරිය විසින් ගනු ලබන සාමූහික ක්‍රියාමාර්ගයන් හි වැදගත්කම ඔහු පෙන්වා දෙන ලදී.
Video Story