2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2024, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතා වෙත අද දින (2025 අප්‍රේල් 7) පිළිගන්වන ලදී.
වාර්ෂික ආර්ථික විවරණයේ ඇතුළත් ප්‍රධාන කරුණු පහත දැක්වේ:
වසර දෙකකට පෙර අත්විඳින ලද දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසුව, 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරව යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. යථා තත්ත්වයට පත් වීමේ මාවත දුෂ්කර වූවද, අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව, එය සැලකිය යුතු ලෙස වේගවත්ව සිදු විය. අර්බුදයෙන් පසු ක්‍රියාවට නැංවූ ප්‍රතිසංස්කරණවල ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කිරීම ආරම්භ වී ඇත. ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම, මිලදී ගැනීමේ හැකියාව යම් දුරකට යථා තත්ත්වයට පත්වීම සහ අවිනිශ්චිතතා අඩු වීම පිළිබඳ සලකුණු දක්නට ලැබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගෙන යෑම පිළිබඳව වූ පැහැදිලිභාවයත් සමඟ, මැතිවරණ ආශ්‍රිත අවිනිශ්චිතතා 2024 වසරේ අගභාගය වන විට පහව ගියේය. මේ සමඟ ම, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වීම සහ “සීමිත පැහැර හැරීමේ" ශ්‍රේණිගත කිරීමෙන් රට ඉවත් වීම ආයෝජකයන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමට සමත් වී ඇත.
ආර්ථික වර්ධනය පිළිබඳව සලකා බැලූ විට, ශ්‍රී ලංකා ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් කාර්යසාධනයක් 2024 වසරේ දී පෙන්නුම් කළේය. බලශක්ති මිල ගණන් පහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු කොටගෙන උද්ධමනය අඩු වූ අතර, 2024 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව අවධමනයක් වාර්තා කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය එහි ඉලක්කගත මට්ටමට වඩා පහළ ගියේය. අඩු පොලී අනුපාතිකවල සහාය ඇතිව 2024 වසරේ දී ගෘහ ඒකක සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීම වර්ධනය විය. වසංගතය පැවති සමයේ සහ ඉන් අනතුරුව ආර්ථික අර්බුදය හමුවේ අහිමි වූ ආර්ථිකයේ නිමැවුම යම්තාක් දුරකට නැවත අත්පත් කර ගනිමින්, ලිහිල් මුදල් තත්ත්ව දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය විය. මේ අතර, වසර තුළ දී විදේශීය අංශයේ කාර්ය සාධනය ශක්තිමත්ව පැවතුණි. රටට ලැබෙන ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් වැඩි වීමත් සමඟ බාහිර ස්වාරක්ෂකවල සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබුණි. විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් අඛණ්ඩව වාර්තා විය. පවතින නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය. විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ආනයනවල මිල ගණන් අඩු වීම හරහා පාරිභෝගිකයින් වෙත ලැබුණ ද, එය විදේශ විනිමය උපයන්නන් කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කළේය. 2024 වසරේ දී රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අතර ප්‍රාථමික ශේෂය අඛණ්ඩව දෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කළේය.
2023 වසරේ දී ලබාගත් ප්‍රගතිය මත පදනම්ව, මහ බැංකුවේ ප්‍රතිපත්ති මගින් දේශීය මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු විය. නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ වන ප්‍රමුඛතාවන්ට අනුකූලව, අඩු උද්ධමන ඉදිරි දැක්ම සැලකිල්ලට ගෙන දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වෙමින් මහ බැංකුව අඛණ්ඩව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන ගියේය. මේ අතර, විදේශීය අංශයේ යහපත් කාර්ය සාධනය හේතුවෙන් ආනයන සහ ප්‍රාග්ධන ප්‍රවාහ සඳහා තවදුරටත් පැවති සීමා, මහ බැංකුවේ උපදෙස් ද සලකා බලමින්, රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කරන ලදී. බලපත්‍රලාභී බැංකුවල පාලනය සඳහා නීතිමය රාමුව ශක්තිමත් කරමින් බැංකු (සංශෝධන) පනත බලාත්මක කිරීමත් සමඟ මූල්‍ය පද්ධති ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් විය. සාර්ව මූල්‍ය තත්ත්ව වැඩිදියුණු වීම සහ වත්කම්වල ගුණාත්මකභාවය වර්ධනය වීම මගින් 2024 වසර තුළ දී මූල්‍ය අංශයේ සමස්ත කාර්ය සාධනය ක්‍රමයෙන් වැඩිදියුණු විය. අවදානම් කළමනාකරණය සහ ආයතනික පාලනය පිළිබඳ නියාමන ක්‍රියාමාර්ග රාශියක් ද මෙම වසර තුළ දී හඳුන්වා දෙන ලදී. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා බලපත්‍රලාභී බැංකුවල ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක පිහිටුවීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලදී. මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කටයුතු කළේය.
2022 වසරේ දී මුහුණ දුන්, පෙර නොවූ අන්දමේ අර්බුදයෙන් පසු, රට තුළ ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි කිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි අරමුණ විය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට සහාය වන අතර ම, ණය තිරසාරභාවය ඇති කිරීම අරමුණු කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛත්වය හිමි විය. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් දිළිඳු සහ අවදානමට ලක් විය හැකි ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමු විය. තවද, දූෂණය හා සම්බන්ධ අවදානම් සඳහා විසඳුම් ලබා දීමට ද පියවර ගනිමින් සිටී. අඩු උද්ධමනය හා අඩු පොලී අනුපාතික සහිත පරිසරයක් සමඟ ස්ථාවර මූල්‍ය අංශයක් මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට එහි විභවතාවයට ළඟා වීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත. තවද, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීම සමඟ ධනාත්මක වෙළඳපොළ අපේක්ෂා සහ පවතින ස්ථාවර දේශපාලන වාතාවරණය විසින් රටෙහි දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කර ඇත. එසේ වුවත්, ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතා ඉහළ යාම, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය' විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශය සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකිය. එබැවින්, අඛණ්ඩ විචක්ෂණශීලිභාවයකින් යුතුව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහි සහ බාහිර සහ රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක තවදුරටත් ශක්තිමත් කිරීමෙහි දැඩි අවශ්‍යතාවක් පවතී.
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථික අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා පැහැදිලි සහ ශක්තිමත් පියවර ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්න ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතේ වැදගත් ම අංග වේ. නැවත ස්ථාවරත්වයට පත් වීම සඳහා අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණ බොහොමයක් සාර්ව ආර්ථික ගැළපුම් වැඩසටහනේ මුල් අවධියේදීම සම්පූර්ණ කිරීම විශේෂිත කරුණකි. මේ දක්වා ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇතත්, තව බොහෝ දුරක් යා යුතුව ඇත. වර්තමානයේ දී සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති බැවින්, සියලූම පුරවැසියන්ගේ සමෘද්ධිමත්භාවය සහතික කරන රටේ දිගුකාලීන වර්ධනය සඳහා බෙහෙවින් අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම ඉතා වැදගත් වේ.
2024 වාර්ෂික ආර්ථික විවරණය මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.