ශ්‍රී ලංකා මහ බැංකුව 2026 පෙරබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

    February, 14, 2026

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූල‍ව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.

    ‍මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු 2026 වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලද තොරතුරු මත පදනම් වේ.

    සුවිශේෂී කරුණු

    • මාස එකොළහක අවධමන කාලපරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින්, උද්ධමනය 2025 වසරේ අගෝස්තු මස ධන අගයකට පැමිණි අතර, ඉන් අනතුරුව ක්‍රමයෙන් ඉහළ ගියේය.
    • 2026 වසරේ දෙවන භාගය වන විට උද්ධමනය 5%ක ඉල්ලකගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    • දේශීය ඉල්ලුම ශක්තිමත් වීම හේතුවෙන් මූලික උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස්, මතුපිට උද්ධමන ඉලක්කය වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    • ආර්ථිකයේ පවත්නා අඩු උද්ධමන තත්ත්වය මධ්‍යයේ මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.
    • දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හමුවේ වුව ද, ආර්ථික කටයුතුවල අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන ආර්ථික දර්ශක මගින් පිළිබිඹු විය.
    • ගෝලීය බලපෑම් සහ අවිනිශ්චිතතාවයන් තවදුරටත් ඉහළ යෑම මගින් සමස්ත ආර්ථික කාර්යසාධනයට බලපෑම් එල්ල විය හැකිය.