ශ්‍රී ලංකා රජය මාව විස්මයට පත්කළා – ජෝර්ජ් සොරෝස්

    January, 7, 2016

    ඉතා කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගනු ලැබූ දෑ පිළිබඳ තමාව විස්මයට පත්කළ බව ‘ද ඕපන් සොසයිටි‘ නිර්මාතෘ, ලොව මහාපරිමාණ මූල්‍ය ආයෝජකයෙකු වන ජෝර්ජ් සොරෝස් පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ සමඟ එක්වෙමිනි.

    ‘මෙම සමුළුව සඳහා මා හට ආරාධනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳ මා සොයා බැලුවා. ඉතා කෙටිකාලයක් තුළ ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගත් දේ තුළින් මාව විස්මයට පත්කළා. රජයේ මෙම වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම සඳහා අපගේ සහාය ලබා දෙන්න අප සූදානම්. ආසියාව ඇතුළු මෙම කලාපය පිළිබඳ භාරව සිටින මාගේ පදනමේ සාමාජිකයන් ද මේ අවස්ථාවට මා හා එක්ව සිටිනවා. එසේම මාගේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජන තීරණ ගන්නා පුද්ගලයින් ද මෙහි සිටිනවා‘, යැයි ඔහු මෙහිදී පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝර්ජ් සොරෝස් කියා සිටියේ වත්මන් ගෝලීය ආර්ථිකය තුළ චීනය මුහුණ පා සිටින තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින ආර්ථික සියල්ලකටම පාහේ දැඩි වශයෙන් බලපා ඇති බවයි.

    මෙම ආර්ථික සමුළුව අද සහ හෙට දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.