නව ව්‍යාපෘතියකට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 8ක ප්‍රදානයක්

    September, 23, 2025

    වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය පෝෂණය කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8 ක ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම

    වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අද (2025.09.23) දින යුරෝපා සංගමය (EU) සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කරන ලදි.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8 ක ප්‍රදානය, මඟින් මූල්‍යනය කරනු ඇත.

    හායනය වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩිවෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමටත් දායක වනු ඇත.

    මෙම ව්‍යාපෘතිය, රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" හි අවධාරණය කර ඇති ආර්ථික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය අතර සමතුලිතතාවය ඇති කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සමඟ සමපාත වේ. පරිසර හිතකාමී සහ සමතුලිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයන් ඉලක්ක කළ ප්‍රතිඵල අත්කර දී නොමැති අතර යුරෝපා සංගමය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය එම ගමන්මඟ ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.

    2025 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, අතිගරු Carmen Moreno මැතිනිය විසින් මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අත්සන් කරන ලදි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, අතිගරු Carmen Moreno මැතිනිය විසින් යුරෝපා සංගමයේ Global Gateway ප්‍රතිපත්තිය මඟින් මෙවැනි වැඩසටහන් සඳහා යුරෝපා සංගමයේ දායකත්වය සම්බන්ධව අදහස් දක්වන ලද අතර "ජෛව විවිධත්වය ශ්‍රී ලංකාවේ වැදගත්ම සම්පත්වලින් එකක් වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම මඟින් එහි ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සාමූහිකව කටයුතු කරන්නෙමු. යුරෝපා සංගමයේ අත්දැකීම්, තාක්ෂණය සහ පෞද්ගලික අංශයේ ආයෝජන, මෙම ව්‍යාපෘතියේ මූලිකාංග වන අතර එමඟින් ලංකාවේ ප්‍රතිපත්තීන් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කිරීමට අවස්ථාව සලසනු ඇත. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ගෝලීය සෞඛ්‍යය සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කටයුතු කිරීමට දායක වේ" යනුවෙන් විශේෂයෙන් සඳහන් කරන ලදි.

    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් යුරෝපා සංගමයේ වටිනා සහයෝගයට අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීමට මැනවින් සමපාත වන බව අවධාරණය කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ ඔහු විසින් මෙම ගිවිසුම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වනු ඇති බවත් මෙමඟින් පාරිසරික තිරසාරභාවය, සමස්ත වර්ධනය සහ දිගුකාලීන සමතුලිත ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සඳහා අපගේ හවුල්කාරීත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් සඳහන් කරන ලදි.