ශ්‍රී ලංකා වෙරළ සං‍රක්ෂණය වෙනුවෙන් INSEE සමාගම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් දියත් කරයි

    June, 27, 2024

    INSEE සිමෙන්ති සමාගම, ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසරය සං‍රක්ෂණය කිරීම සඳහා හෙක්ටයාර් 10කට අධික භූමි ප්‍රමාණයක කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ. පසුගිය වසර හය තුළදී, INSEE සමාගම කඩොලාන පැළ 10,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරමින් රට පුරා පුළුල් කඩොලාන ප්‍රතිසංස්කරණයකට සිය සහයෝගය දක්වා ඇති අතරම, පාරිසරික සංරක්ෂණය සහ ජෛව විවිධත්වය සඳහා වන ඔවුන්ගේ කැපවීම යලි තහවුරු කිරීමට ද කටයුතු කොට තිබේ.

    පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD), මධ්‍යම පරිසර අධිකාරිය සහ දේශීය විශ්වවිද්‍යාල වැනි ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ INSEE ඇතිකරගත් ශක්තිමත් හවුල්කාරිත්වය සහ සමීප සහයෝගීතාවය හේතුවෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් ලබා දුන් තාක්ෂණික මගපෙන්වීම මෙම කාර්යය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වූ අතරම, INSEE සමාගමේ සේවකයින් ද මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින්, ශ්‍රී ලංකාවේ කඩොලාන සංරක්ෂණය සඳහා වන ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළහ.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ INSEE හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර රොහාන් ලක්මාල් පැවසූවේ; INSEE සමාගම වයඹ සහ දකුණු පළාත්වල ස්ථාන තුනක් කේන්ද්‍ර කරගනිමින් මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය කටයුතු කරන අතර, කඩොලාන පැලවල තිරසර වර්ධනය සහ ජීව ගුණය ආරක්ෂා කිරීමට අවශ්‍ය අධික්ෂණය සහ නඩත්තුව ප්‍රමාණාත්මකව සපයන බවයි.  තවද, INSEE සිමෙන්ති එහි තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම පෙරටු කර ගනිමින්, මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට මුල පිරීම සිදුකළ අතර සමාගමක් ලෙස ඔවුන්ගේ අරමුණ වන්නේ ශ්‍රාමීය ප්‍රජාවන්ගේ යහපැවැත්මට සහයෝගය දක්වමින් පුළුල් පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    INSEE සිමෙන්ති, සිය සමාගම 2030 වසරේදී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත තිරසාර අභිලාෂය සඳහා තබන මුල් ගලක් ලෙස මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි අතරම, එය දේශගුණය සහ බලශක්තිය, ජෛව විවිධත්වය සහ ජලය හා චක්‍ර ආර්ථිකය (Circular Economy) යන ප්‍රධාන කුළුණු තුනක් මත ගොඩනගා තිබේ.

    2017 වසරේ දී INSEE රුහුණු සිමෙන්ති කම්හල අසල පිහිටි කොග්ගල කුරුළු දූව කේන්ද්‍ර කරගනිමින් මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ විය. එහිදී වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්වූ INSEE සමාගම මහා කඩොල් (Rhizophora mucronata) කඩොලාන විශේෂය සිටුවීම ආරම්භ කරන ලදී. මෙහි විශේෂත්වය වූයේ මෙම ශාක සිටුවීම සඳහා සමාගමේ භාවිතයෙන් ඉවත් කරන ලද සිමෙන්ති වලින් සාදන ලද භාජන භාවිතා කිරීමයි. එමගින් INSEE සමාගම තිරසරභාවය වෙනුවෙන් නව්‍ය ප්‍රවේශයක් ඉදිරියට තැබීම සනිටුහන් කළහ.

    2022 වසරේ අප්‍රේල් මාසයේදී INSEE සමාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එකව අරුවක්කාරු හි සේරක්කුලිය අඩවියේ දී මහා කඩොල් (Rhizophora mucronata) සහ මන්දා (Avicennia marina) යන කඩොලාන විශේෂ දෙක රෝපණය කරන ලදී.  2024 වසරේ දී මහ කඩොල් පැල 5,000 ක් රෝපණය කිරීමේ සමාගමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD) සමඟ එක්ව INSEE සමාගම කල්පිටිය වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතියක මේවනවිට නිරත වී සිටී.