February, 24, 2026
DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට වඩාත්ම සමීපතම සහ ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශාඛා කළමනාකාරීත්වයේ සෘජු දායකත්වය මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහන උපායමාර්ගික මගපෙන්වීම් මෙන්ම ප්‍රායෝගික නායකත්ව පුහුණු සැසිවලින් ද සමන්විත විය. එහිදී හඳුන්වා දුන් විශේෂාංග අතර "ශාඛා කළමනාකාර දක්ෂතා සංචිතය" සහ ප්‍රාදේශීය කළමනාකරුවන් සඳහා වූ විශේෂිත වේදිකාව කැපී පෙනේ. බැංකුවේ අනුප්‍රාප්තික සැලසුම් ශක්තිමත් කිරීම, වගවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. තවද, අන්තර්ක්‍රියාකාරී වැඩ සැසි හරහා ශාඛා කළමනාකරුවන්ට සිය අත්දැකීම් බෙදා ගැනීමටත්, මෙහෙයුම් අභියෝග සාකච්ඡා කිරීමටත්, 2026 වසර සඳහා වූ ඉලක්කයන් සමඟ අනුගත වීමටත් අවස්ථාව සැලසුණි.
ප්‍රවීණ කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි මහතා විසින් “Be a Branch Leader” යන තේමාව යටතේ මෙහෙයවන ලද විශේෂ නායකත්ව සැසියේදී, ගනුදෙනුකාර-කේන්ද්‍රීය තීරණ ගැනීම, ආයතනික හිමිකාරිත්වය පිළිබඳ මානසිකත්වය සහ ඉහළ දක්ෂතා සහිත කණ්ඩායම් ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. මෙහිදී අවධාරණය කෙරුණේ ශාඛා කළමනාකරුවෙකු යනු හුදෙක් මෙහෙයුම් ප්‍රධානියෙකු පමණක් නොව, බැංකුවේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන නායකයෙකු විය යුතු බවයි.
බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා සිය ප්‍රධාන දේශනය පවත්වමින්, විකාශනය වන බැංකු ක්ෂේත්‍රයේ ස්වභාවය සහ DFCC බැංකුවේ අනාගතය හැඩගස්වන උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. සභාපති ජේ. දුරෙයිරත්නම්, ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ශමින්ද්‍ර මාර්සලීන් යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විද්වත් සාකච්ඡාව, විවෘත සංවාදයකට සහ ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මහඟු වේදිකාවක් විය.
මෙම සමුළුවේදී ඉහළ දක්ෂතා දැක්වූ ශාඛා සහ කලාප ඇගයීමට ලක් කළ අතර, විනයගරුක මෙහෙයුම් ක්‍රියාවලිය සහ තිරසාර වර්ධනය අතර පවතින සබැඳියාව එහිදී යළිත් තහවුරු කෙරිණි. ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට වඩාත්ම සමීප සහ ගනුදෙනු කිරීමට පහසුම බැංකුව බවට පත්වීමේ DFCC බැංකුවේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම වාර්ෂික සමුළුව ශක්තිමත් පදනමක් සහ දැවැන්ත ජවයක් ලබා දුන්හ.
Video Story