March, 26, 2026
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෙදාහැරීමේ සේවා යෙදුම වන Uber Eats, මෙරට ප්‍රමුඛතම කුකුළු මස් සහ මස් නිෂ්පාදන සමාගමක් වන ඩෙල්මෝ (Delmo) සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇති බව නිවේදනය කරයි. පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලමින්, නැවුම් මස් නිෂ්පාදන සෘජුවම නිවසටම බෙදාහැරීමේ සේවාව මෙම හවුල්කාරිත්වය හරහා ශක්තිමත් කෙරේ.
ආරම්භක අදියරේදී අලෙවිසැල් 10ක් ආවරණය කරමින් දියත් කෙරෙන මෙම සේවාව, ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. ඒ අනුව ඩෙල්මෝ සන්නාමය යටතේ එන නැවුම් කුකුළු මස්, සොසේජස් සහ පිසීමට සූදානම් කළ (Ready-to-cook) නිෂ්පාදන පෙළ Uber Eats යෙදුම හරහා සෘජුවම ඇණවුම් කළ හැකිය.
දිවයින පුරා අලෙවිසැල් 140කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන ඩෙල්මෝ සමඟ ඇති කරගත් මෙම සබඳතාවය, Uber Eats හරහා ලබාගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ පරාසය තවදුරටත් පුළුල් කරන අතර, එමඟින් ‘Get Almost, Almost Anything’ යන ඔවුන්ගේ සේවා පොරොන්දුව යළිත් තහවුරු කරයි.
Uber ශ්‍රී ලංකා හි සිල්ලර හා වෙළඳ අංශ ප්‍රධානී නිශාන්ත් සේගර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. "Delmo සමඟ ඇති කරගත් මෙම සබඳතාවය එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන ප්‍රමුඛතම වේදිකාවක් ලෙස Uber Eats සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරනවා. ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම මස් නිෂ්පාදන සන්නාමයක් අපගේ app එකට එක් කිරීම හරහා, පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නැවුම් මස් නිෂ්පාදන ඉතා පහසුවෙන් සහ වේගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා."
Delmo Chicken & Agro හි සාමාන්‍යාධිකාරී යසාස් විතාරණ මහතා මෙසේ පැවසීය. "Delmo ආයතනය ලෙස අප සැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකික පවුල් වෙත උසස්ම තත්ත්වයේ මස් නිෂ්පාදන ලබා දීමටයි. Uber Eats සමඟ එක්වීමෙන් අපගේ එම පොරොන්දුව වඩාත් වේගවත්, විශ්වාසදායක සහ පහසු සේවාවක් ඔස්සේ වෙන කවරදාටත් වඩා වැඩි පාරිභෝගිකයින් පිරිසක් වෙත සමීප කිරීමට අපට හැකියාව ලැබෙනවා."
පහසුව සහ වේගය පිළිබඳ පාරිභෝගික ඉල්ලුම දිනෙන් දින ඉහළ යත්ම, සූදානම් කළ ආහාර සහ සිල්ලර බඩු සිට නැවුම් මස් සහ ගෘහස්ථ භාණ්ඩ දක්වා සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වඩාත් විශ්වාසදායක ලෙස සැපයීමට Uber Eats කටයුතු කරයි.
ඡායාරූප: (වමේ සිට) යසස් විතාරණ මහතා - සාමාන්‍යාධිකාරී, Delmo Chicken & Agro සහ නිශාන්ත් සේගර් මහතා - සිල්ලර හා වෙළඳ අංශ ප්‍රධානී, Uber ශ්‍රී ලංකා
Video Story