ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීම බාරගනීමට ශිරන්ත පීරිස් පෙරමුණට

    April, 3, 2026

    ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා වන සටනට ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස වත්මන් උප සභාපති සහ ප්‍රමුඛ ව්‍යාපාරික ශිරන්ත පීරිස් මහතා එක්වෙයි. විධිමත් පාලන පද්ධතියක් සහ ක්‍රීඩා සම්මේලන අතර සහයෝගීතාවය ගොඩනැගීම හරහා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ පැහැදිලි ප්‍රායෝගික සැලසුමක් ඔහු මෙහිදී ඉදිරිපත් කර ඇත.

    දශක හතරක වෘත්තීය පළපුරුද්දක් සහිත ශිරන්ත පීරිස් මහතා, රුපියල් බිලියන 6 ඉක්මවන වාර්ෂික පිරිවැටුමක් හිමි 'මෙගා ෆාර්මා' (Mega Pharma) සමූහ ව්‍යාපාරයේ හිමිකරු වේ.දශක හතරක පළපුරුද්දට අමතරව එක්සත් රාජධානියෙන් සහ අමෙරිකාවෙන් ලබාගත් MBA උපාධි ද්විත්වය ඔහුගේ වෘත්තීය පදනම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබයි. මූල්‍ය විනය සහ ආයතනික කළමනාකරණය පිළිබඳ ඔහු සතු සුවිශේෂී කුසලතාවය, ඕනෑම ආයතනයක් සාර්ථකව මෙහෙයවීමට අවශ්‍ය උපායමාර්ගික නායකත්ව පදනම සපයයි.

    "සැබෑ නායකත්වය යනු පොරොන්දු පිටුපස හඹා යෑම නොව, ප්‍රතිඵල ලබාදෙන පද්ධතීන් නිර්මාණය කිරීමයි. මා විශ්වාස කරන්නේ ස්ථාවරත්වය සහ සාධාරණත්වය සුරකින ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි." යැයි පීරිස් මහතා පැවසීය.

    ව්‍යාපාරික ක්ෂේත්‍රයට අමතරව, යටිතල පහසුකම් සංවර්ධනය සහ ක්‍රීඩා පරිපාලනය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. ඔහු නුවරඑළිය, කටුකුරුන්ද සහ පායගල යන ප්‍රදේශවල පිහිටි කොළඹ මැටි ඉලක්ක වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ (Clay Target Shooting Club of Colombo) වෙඩි තැබීමේ පරාසයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට සහ නවීකරණය කිරීමට පෞද්ගලිකව ආයෝජනය කර ඇති අතර, එමඟින් ක්‍රීඩා පහසුකම් ඉහළ නැංවීමටත් එම ක්‍රීඩාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීමටත් කටයුතු කර ඇත.

    2015 වසරේදී ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ ප්‍රථම සිවිල් සභාපතිවරයා බවට ඔහු පත් විය. 2025 දක්වා පැවති ඔහුගේ ධුර කාලය තුළ, එම සම්මේලනය විශාල වර්ධනයක් අත්කර ගත් අතර, ක්‍රීඩකයින් සංඛ්‍යාව 200 සිට 7,500 දක්වා ඉහළ ගියේය. ඔහුගේ නායකත්වය යටතේ තරුණ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයින් ජාතික මට්ටමේ ජයග්‍රහණ සහ ආසියානු මට්ටමේ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

    "නිසි පද්ධතියක් සහ තරුණ පරපුර වෙනුවෙන් කරන ආයෝජනය නිසැකවම ජයග්‍රහණය ගෙන එන බව අප ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. එම ප්‍රවේශයම ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා සඳහා යොදා ගත හැකියි" ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයා ලෙස කටයුතු කරන ශිරාන්ත පීරිස් මහතා, ආසියානු සහ ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයන්හි විධායක සහ සංවර්ධන මණ්ඩල නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සතු කරගෙන සිටී. කොළඹ නෙළුම් කුළුණේ සභාපතිවරයා ලෙස ඔහු ඉටුකරන කාර්යභාරය, මහා පරිමාණ ජාතික ව්‍යාපෘති කළමනාකරණයට සහ රජයේ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සතු සුවිශේෂී හැකියාව මනාව විදහා දක්වන්නකි.

    ඔහුගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ වූයේ වයස අවුරුදු 12 දීය. සිය පියාගේ මගපෙන්වීම යටතේ ගුවන් රයිෆල් වෙඩි තැබීමේ ක්‍රීඩාවට පිවිසි ඔහු, පසුව 2000 වසරේ පැවති සාෆ් (SAF) ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් රිදී පදක්කමක් සහ තනි ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. එමගින් ජාත්‍යන්තර තරඟකාරීත්වය සඳහා ක්‍රීඩකයෙකු සතු විය යුතු අවශ්‍යතා පිළිබඳව ඔහුට ප්‍රායෝගික අත්දැකීම් තිබේ.

    මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නම්, පාලන විනිවිදභාවය සහ පද්ධතිමය වෙනසක් අත්‍යවශ්‍ය බව පවසමින් ශිරාන්ත පීරිස් මහතා ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරය සඳහා සිය දැක්ම ඉදිරිපත් කරයි.

    එක්සත්කම සහ විනිවිදභාවය සහතික කරමින්, සැමට සාධාරණ අවස්ථා සලසන ඔලිම්පික් කමිටුවක් ගොඩනැගීම ඔහුගේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතාවයි. ඔහුගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ විනිවිදභාවයෙන් යුතු පාලනයක් සහ කුසලතාවයට නිසි තැන දෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමයි. ක්‍රීඩක සුබසාධනය මෙන්ම ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ගේ වෘත්තීය දියුණුව සඳහා වූ විධිමත් සැලැස්මක් ක්‍රියාවට නැංවීම ඔහුගේ මෙහෙවරයි.

    ඔලිම්පික් නිවාසය (Olympic House) තුළ විධිමත් ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, නිසි කාර්යභාරයන් සහ වගකීම් වෙන්කර හඳුනාගැනීම මගින් ආයතනික වගවීම තහවුරු කිරීමටත් ඔහු යෝජනා කරයි. එසේම, ක්‍රීඩා අමාත්‍යාංශය සහ රජය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීම ඔහුගේ මෙම වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී අංගයකි.

    "ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දක්ෂතාවයන්ගෙන් අඩුවක් නැහැ. අපට අඩු වන්නේ එම දක්ෂතා එකට එක් කරන, නිරන්තරයෙන් සහාය දෙන සහ ජයග්‍රහණය සඳහා සාධාරණ මාවතක් සකස් කර දෙන පද්ධතියක් පමණයි. මගේ අරමුණ මුළු රටටම ආඩම්බර විය හැකි, අවංකභාවයෙන් ක්‍රියා කරන සහ ප්‍රතිඵල ලබා දෙන ආයතනයක් ගොඩනැගීමයි," පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    ව්‍යාපාරික නායකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ජාතික ක්‍රීඩකයෙකු ලෙස ලබා ඇති සුවිශේෂී අත්දැකීම් සම්මිශ්‍රණය කරමින්, ශිරාන්ත පීරිස් මහතා ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය සහ දිගුකාලීන ආයතනික ශක්තිය කෙරෙහි අවධානය යොමු කරන අපේක්ෂකයෙකු ලෙස පෙරමුණට පැමිණ සිටී.