ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ සැපයුම් දාමයට එමිරේට්ස් ස්කයිකාගෝ වෙතින් සහාය

    April, 29, 2020

    යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළ වෙත මාලු, පලතුරු සහ එළවලු ටොන් 100 ක් පමණ අප්රේල් අවසාන භාගයේදී මෙරට සිට ප්රවාහනය කරයි

    එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ විසින් කොළඹ සිට මගී ගුවන් සේවා අත්හිටුවා තිබෙන කාලය වුවද අප්‍රේල් මාසයේ අවසාන සති දෙකේදී ශ්‍රී ලංකාව සිට යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළවල් වෙත ටොන් 100 ක පමණ දේශීය නිෂ්පාදන ප්‍රවාහනය කරමින් මෙම අසීරු අවස්ථාවේදී සැපයුම් දාමය පවත්වා ගනිමින් ආදායම් රැස්කර ගැනීමට දේශීය අපනයනකරුවන්ට සහයෝගය දක්වා තිබේ.

    මේ අනුව, සමාගම විසින් මෙම නිෂ්පාදන කලට වේලාවට උපරිම ගුණාත්මක තත්ත්වයෙන් මෙම වෙළඳපොළවල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බොයින්ග් 777-300 මගී ගුවන් යානා දෙකක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ලෙස යොදාගෙන ඇත.

    එමිරේට්ස් ස්කයිකාගෝ විසින් අප්‍රේල් 15 වනදා සහ 27 වනදා කොළඹ සිට ප්‍රවාහනය කළ භාණ්ඩ අතරට මාලු, පලතුරු, එළවලු සහ බුලත් කොළ ඇතුලු භාණ්ඩ ඇතුළත් වූ අතර මෙම අපනයන භාණ්ඩ සූරික්, පැරිසිය, ෆ්‍රැන්ක්ෆර්ට, ලන්ඩන්, බ්‍රසල්ස්, ඩුබායි, කරච්චිය සහ ලාහෝරය යන වෙළඳපොළවල් වෙත ප්‍රවාහනය කළ බව සමාගම සඳහන් කරයි.

    ‘ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ තිබෙන කැපවීම අපි අත්හරින්නේ නෑ. කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම හැකි පමණ අවම කිරීමට අපි දැඩි වෙහෙස මහන්සියකින් කටයුතු කරනවා,’ යනුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කාගෝ කළමනාකරු, කපිල සාන්තප්‍රිය මහතා අවධාරණය කළේය.

    ජාත්‍යන්තර වෙළඳාමට ඉතාමත් ඉහළ පහසුකම් සපයන්නෙකු වන එමිරේට්ස් ස්කයිකාගෝ සමාගමේ බොයින්ග් 777- F සහ බොයින්ග් 777-300ER ගුවන් යානා භාවිතා කරමින් ගෝලීය ගමනාන්ත 60 කට පමණ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් සේවා ක්‍රියාත්මක කරයි. මේ අනුව, ඕස්ටේ්‍රලියාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල් වලට ඉතාමත් වැදගත් වෛද්‍ය සැපයුම් ප්‍රවාහනය කිරීමට මෙම සේවාව කටයුතු කරන අතර ඒ සඳහා ඇතැම් අවස්ථාවල නියමිත ගුවන් ගමන් වාර වලට අමතරව විශේෂ ගුවන් ගමන් වාරද ක්‍රියාත්මක කරයි.

    අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වේගවත්ම ක්‍රමය ලෙස ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම කැපී පෙනෙන අතර පුළුල් කර තිබෙන ස්කයිකාගෝ ජාලය මගින් ලෝකයේ විවිධ ස්ථාන වෙත මෙසේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සම්පාදනය කර තිබීම කැපී පෙනේ. මේ අනුව, ජනවාරි මාසයේ සිට මේ දක්වා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් ටොන් 20,000 කට අධික ඖෂධ සහ ටොන් 93,000 කට අධික නැවුම් භාණ්ඩ ප්‍රවාහනය කර තිබෙන බව සමාගම පවසයි.

    එමිරේට්ස් විසින් සිය සිව්වන විදේශීය ගමනාන්තය ලෙසින් 1986 අප්‍රේල් 01 වනදා සිට කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී. කොවිඞ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට මගී ගුවන් ගමන් නතර කිරීමට පෙර එමිරේට්ස් දිනකට කොළඹට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කරමින් මහද්වීප හයක ගමනාන්ත 159 ක් සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කරන ලදී.

    වර්තමාන ගුවන් ගමන් සහ එමිරේට්ස් ස්කයිකාගෝ ජාලය පිළිබඳව තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න - www.skycargo.com/services-alerts/