ශීත ඍතුවේ සංචාරකයින් රැගත් පළමු Air Astana යානය ශ්‍රී ලංකාවට

    December, 26, 2025

    යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන්, කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය එරට සංචාරකයන් පිරිසක් රැගෙන ඊයේ (25) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය.

    එයාර් අස්තානා (Air Astana) ගුවන් සේවයට අයත් KC-167 දරන මෙම ගුවන් යානය ඊයේ සවස 04.10 ට කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ තිබුණි.

    මෙම මංගල ගමනට ගුවන් මගීන් 182 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 08 දෙනෙකු ද පැමිණ සිටියහ.

    මෙම එයාර් අස්තානා ගුවන් යානා සෑම සතියකට දින දෙකක් , එනම් සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දක්වා කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇත.