ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක්

    October, 10, 2016

    ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සදහා ඉදිරිපත්ව සිටින දෙස් විදෙස් සමාගම් 28 න් සමාගම් 02 ක් සිය ගිවිසුම් අත්සන් කිරිම පසුගියදා සිදු කෙරිනි.

    රුසියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් සහ ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් අතර ගිවිසුම් මෙහිදී අත්සන් කෙරුනි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථා සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ මැදිහත්වීම මත ගිවිසුම් අත්සන් කිරිම සිදු කෙරුන අතර, එම ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 කි.

    මෙහිදී අදහස් දැක් වූ වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ප‍්‍රකාශ කළේ රුසියාව, ඉන්දියාව, සහ ඊශ‍්‍රායලය යන රටවලින් ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා සමාගම් එක්ව සිටින බවයි. “දෙස් විදෙස් සමාගම් 28 ක් ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා එක්ව සිටිනවා. එම සමාගම් ලංකාවේ නිෂ්පාදනාගාර ඉදිකරනවා. අද ගිවිසුම් අත්සන් කළ සමාගම් විසින් ආයුර්වේද සහ බටහිර ඖෂධ නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වෙනවා. එම වැඩපිළිවෙල තවත් මාස 12 කින් ආරම්භ කිරිමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ලබාදෙන අතර, අතිරික්තය අපනයනය කිරිමට ද සැළසුම් කර තිබෙනවා.“