සංචාරක ආකර්ෂණයට පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා පරිශ්‍ර යොදා ගැනීමේ සැලැස්මක්

    August, 19, 2025

    රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංචරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත.

    එමෙන්ම, සෙවනගල සීනි කර්මාන්තශාලා පරිශ්‍රයේ පිහිටි ස්ථාන කිහිපයක් ද සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කළ හැකි බවට හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයන් තුළ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීම සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.