July, 23, 2014
නිළධාරීන් දෙතුන් දෙනෙක්, ණය ආධාර සපයන ආයතන කිහිපයක්, විදේශාධාර සපයන තානාපති කාර්යාලවල ඉහළ නිළධාරීන් අතලොස්සක් තීරණයකොට මෙහෙයවන ආර්ථීක ක්‍රමවේදයක් වෙනුවට විද්වත් සමාජය හා පොදු සමාජය එකතුවී ආර්ථීකයේ ඉදිරි ගමන තීරණය කිරීම රටට සුදුසු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික විද්‍යා පදනමේ "මැදි ආදායම් උගුල ජයගෙන රට පෙරට යන්නේ කෙසේද?" මැයෙන් පැවති තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධන පස් අවුරුදු ආයෝජන සැලසුම් පළමු පසු විපරම් විශේෂ ආර්ථීක කථීකාව අරඹමිනි.
• තාක්ෂණ වාර්ෂික වියදම දිනෙක සිගරට් පානය සඳහා වන වියදමට සමානයි.
දැනුම පදනම් කරගත් ආර්ථීකයක් කරා ගමන් කිරීමට අපිට තිබෙන හැකියාවන්, බාධාවන් මොනවාද යන්න පිළිබඳව අප සාකච්ඡාවට බඳුන් කළ යුතු කාලය එළඹ තිබේ. පසුගිය කාලය පුරාවටම තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයට ආයෝජනය කර ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයක් බවට චෝදනා පැන නැගිණ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ (ආයතන 15 ද ඇතුළුව) වාර්ෂික මුළු වියදම රුපියල් බිලියන 3 - 3.5 අතර අගයක් ගනී. වර්ෂයකට රුපියල් මිලියන 300 ක් (බිලියන 0.3) පමණ පර්යේෂණ කටයුතු සඳහා සෘජුවම යොමු කරන අතර අනෙක් රටවලට සාපේක්ෂව බලනවිට මෙය ඉතා සුළු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම රුපියල් බිලියන 8500 කි. ඒ අනුව, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වියදම දළ ජාතික ආදායමෙන් 0.035% කි. ලංකාවේ පර්යේෂණ සඳහා සෘජුවම වසරකට වියදම් කරන රුපියල් මිලියන 300 දෙස බලන විට අප කණගාටු විය යුතු බවත් ඊට හේතුව ලංකාවේ දිනකට සිගරට් පානයට මිලියන 300 ක් වියදම් කිරීම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව විවෘත ආර්ථීකයට පිවිසී අද වනවිට අවුරුදු 40 ට ආසන්න වුවද විවෘත ආර්ථීක ප්‍රතිපත්තිය අප රට හා සමාන්තරව ක්‍රියාත්මක කළ රටවල් අද පවතින තත්ත්වය හා සැසඳීමේදී අප ඉතා පහළ මටිටමක සිටින බව පැහැදිළි වේ. ශ්‍රී ලංකාවට සමාන්තරව විවෘත ආර්ථීකය ක්‍රියාත්මක කළ රටවල් 11 ක් ඒක පුද්ගල ආදායම ඩොලර් 12000 සීමාව එනම්, අධි අදායම් සීමාවට ළඟා වී ඇති අතර ඉන් රටවල් 07 ක පමණ තෙල්, ගෑස් හා ගල් අඟුරු මත පදනම්ව එම තත්ත්වයට ළඟා වී තිබේ. අනෙකුත් රටවල් මැදි ආදායම් උගුලට හසුනොවී සංවර්ධනය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම විද්‍යාව හා තාක්ෂණය මත විශ්වාසය තබා නවෝත්පාදනය, දැනුම මුල් කරගත් ආර්ථීකයක මත පදනම් වීමෙනි.
• 1960 සිට ආර්ථීකය 1200 ගුණයකින් වර්ධනය වෙලා - සංඛ්‍යා ලේඛන විජ්ජාවක්.
අද නොයෙක් දෙනා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්, ආර්ථීක වර්ධනය පිළිබඳව නොයෙකුත් අර්ථකතන ඉදිරිපත් කරති. සංඛ්‍යා ලේඛන වැදගත් නමුත් ඒ සංඛ්‍ය ලේඛන දෙස විචාරාත්මකව බැලීමේදී විජ්ජා සහගත බවක් පෙනීයන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 1960 දි ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 6.5 කි. වර්තමානයේ බිලියන 8500 කි. ඉන් පැහැදිළි වන්නේ 1960 සිට මේ දක්වා ආර්ථීකය 1200 ගුණයකින් වැඩිවී ඇති බවයි. ඩොලර් වලින් එය මනින කල 47 ගුණයකි. නමුත් උද්ධමනය ඉවත් කළ විට මේ ප්‍රමාණය 12 ගුණයකි. සංඛ්‍ය ලේඛන විජ්ජාව තුළ සිදුවන්නේ මෙවන් ක්‍රියාවලියක් බවත් මෙම සංඛ්‍යා ලේඛණ විජ්ජාවට කොටු නොවී යථාර්ථවාදීව අප මේ දෙස බලා සාකච්ඡා කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
• අඩු පොලිය වුවත් රුපියල අව ප්‍රමාණය නිසා ණය පැටව් ගැසේ.
බොහෝ දෙනෙක් ඉතාමත් සහන මිලට, අවුරුදු 40 ට, 1% පොලියට ඩොලර් වලින් ණය ලබාගැනීමට හැකි වූ බව පවසති. එහෙත් සෑම අවුරුදු 08 කට වරක්ම මේ ණය දෙගුණ වෙයි. අවුරුදු 18 කට පසු 04 ගුණයක් වෙයි. මෙලෙස අවුරුදු 40 ගතවන විට 32 ගුණයක් පමණ වෙයි. පසුගිය කාලය තුළ 8% ක වර්ගයකින් රුපියල අව ප්‍රමාණ වී තිබේ.
• සංචාරක ආර්ථීකය ඩෙංගු මදුරුවාටද විනාශ කළ හැකිය.
අද ආර්ථීකයේ ක්‍රියාදාමය වී ඇත්තේ සේවා ආර්ථීකය ප්‍රවර්ධනය කිරීමයි. නමුත් අපේ රටට සේවා ආර්ථීකය තවදුරටත් පුළුල් කිරීම මඟින් ම අපට අවශ්‍ය කරන ආර්ථීක වර්ධනය තිරාසාරව පවත්වාගෙන යාමට හැකිද යන්න ගැටළුවකි. මේ සේවා ආර්ථීකය දේදුණු පැහැයෙන් යුක්ත සබන් බුබුලක් හා සමාන බවත් තිරසර නොවන ක්‍රියාදාමයක අප අත්පොළසන් දෙමින් ගමන් කරනා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ ආර්ථීකයේ ඉදිරි ගමන් මඟ කුමක්ද මේ යන ආකාරයටම අපට ඉදිරියට යන්න පුළුවන් ද විනෝදාස්වාද ආර්ථීකය සංචාරක ව්‍යාපාරය මුල් කරගත් ආර්ථීකයකින් සේවා ආර්ථීකය මුල්කරගත් ආර්ථීකයකින් රට ගොඩනගන්න පුළුවන්ද තිරසරව ඉදිරියට යන්න පුළුවන්ද නවෝත්පාදන ආර්ථීකයක් තුළින් රට ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයට අප පිවිසිය යුතුයි. සංචාරක සේවාවන් මත දුවන ආර්ථීකයක් ඩෙංගු මදුරුවාට වුව විනාශ කළ හැකිය. මන්ද ඩෙංගු ඇති රටකට සංචාරකයින් නොඑන නිසාය.
විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට 1% ක් ආයෝජනය කළොත් දළ ජාතික නිෂ්පාදනය 0.036% කින් වැඩි වන බවත් ආර්ථීක වර්ධනයෙන් පමණක් රටක් මැනිය නොහැකි අතර පරිසර සංරක්ෂණය, සමාජ සමානාත්මතාව, ඇතිවන නවෝත්පාදන ආර්ථීකයක් කරා ගමන් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම ආර්ථීක කථීකාවත සඳහා ආර්ථීක විශේෂඥ සම්මානිත මහාචාර්ය එස්. එස්. කොළඹගේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් යන අයද සහභාගී විය.
Video Story