සංචාරක කර්මාන්තයේ තිරසාර ශ්‍රම බලකායක් වෙනුවෙන් VFS Global හි සහය ඇතිව ක්‍රියාවට නැංවූ Project VISA සාර්ථක ලෙස නිමාව දකී

    March, 25, 2026

    VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමඟ එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මගපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි. මෙහිදී රැකියා සඳහා අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරන අතරම, රටේ සංස්කෘතික, සමාජයීය සහ පාරිසරික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු විය. 

    මේ යටතේ තිරසාර හා පාරිසරික සංචාරක ක්‍රමවේද, සංස්කෘතික අර්ථකථනය සහ කථානුසාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම, සන්නිවේදනය හා පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, පාරිසරික වගකීම, දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, වෘත්තීය ආරක්ෂාව, සංචාරක ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව යනාදී විෂයන් මූලික කරගත් ප්‍රායෝගික ප්‍රවේශයක් හරහා ඵලදායී පුහුණුවක් ලබාදෙන ලදි. මෙය සංචාරක කර්මාන්තය සැමට විවෘත සහ ප්‍රජාවන් මූලික කර්මාන්තයක් බවට පත්කරවන අතරම එහි නියුතු පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණත්වය දීර්ඝකාලීනව තහවුරු කිරීමේ සාර්ථක ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකි වේ.

    ගාල්ල, මීගමුව, රිවර්ස්ටන් සහ මහනුවර යන ස්ථාන පාදක කරගනිමින් කණ්ඩායම් 4 ක් මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ අතර, පුහුණුවෙන් අනතුරුව 123 දෙනෙක් සහතිකපත් ලැබූහ. වැඩසටහනට සහභාගී වීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවූ අතර, සහභාගී වූවන්ගෙන් 25% කම කාන්තාවන් වීම ඊට මනා සාක්ෂියකි. අන්තර්ක්‍රියාකාරී වැඩමුළු, විනෝදාත්මක ක්‍රියාකාරම්, ක්ෂේත්‍ර චාරිකා සහ ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු සංවාද ආදියෙන් සමන්විත වූ මෙම පුහුණුව අතරතුරදී වෘත්තීය වශයෙන් සැබැවින්ම වැදගත් වන ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.    

    කුසලතා සංවර්ධනයට අමතරව මෙහිදී සංචාරක කර්මාන්තයේ නියුතු ප්‍රධාන පෙළේ පුද්ගලයන්, සමාගම් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන් සමඟ සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද පුහුණුවට සහභාගී වූවන්ට අවස්ථාව සලසා දෙන ලදි. මෙය ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට සුවිශාල පිටිවහලක් වනු නිසැකය.

    වැඩසටහන අවසානයේදී මහනුවර Royal Kandyan Hotel හිදී සමාප්ති උත්සවයක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමන්, VFS Global හි නියෝජ්‍ය ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී නීතු වාදවන්, VFS Global හි ශ්‍රී ලංකා ප්‍රධාන කළමනාකරු මන්ප්‍රීත් අරෝරා, NCPC Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන, ASSIST හි දේශීය ප්‍රධානී කරන් සහ NCPC Sri Lanka ව්‍යාපෘති කළමනාකාරිනී චතුරංගි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ව්‍යුහය තුළ සංචාරක කර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිසි කුසලතා සහිත මෙන්ම තිරසාරත්වයට මුල්තැන දෙන සංචාරක වෘත්තිකයන් නිර්මාණය කිරීමට අත්වැලක් වීම තුළින්, රටේ සංස්කෘතික හා පාරිසරික උරුමයන් ආරක්ෂා කරන අතරම රටේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ ව්‍යවසායකත්ව පුහුණුව ඔස්සේ තරුණ පරපුර සවිබල ගැන්වීම මඟින් වගකීම්සහගත සංවර්ධනයක් ළඟා කරගැනීම සම්බන්ධයෙන් VFS Global දක්වන උනන්දුව හා කැපවීම මෙම වැඩසටහන මඟින් මැනැවින් පිළිබිඹු වනවා. අප මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ පිලිපීනය වැනි රටවල් තුළත් මෙවැනි ප්‍රජා සත්කාරමය වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා.” VFS Global සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (දකුණු ආසියාව) යුමී ටල්වාර් මහත්මිය පැවසුවාය.

     

    ඡායාරූපය විස්තරය : (වමේ සිට) ආචාර්ය රුවන් ජයතුංග (සම්පත්දායක), සුරංජිත් වෑවිට (ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික), සමන්ත කුමාරසේන (ප්‍රධාන විධායක නිලධාරී, NCPC), මන්ප්‍රීත් සිං අරෝරා (ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - මෙහෙයුම්, VFS Global), ආචාර්ය ශිරානි හෙට්ටිආරච්චි (සම්පත්දායිකා), නීතු වාදවන් (නියෝජ්‍ය ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී - VFS Global), එච්. සී. පී. ජයවීර (අධ්‍යක්ෂ ජනරාල් - ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව), කරුණාකරන් කාලිනාදන් (දේශීය කළමනාකරු - ASSIST) සහ චතුරංගි ගුණසේකර (ව්‍යාපෘති කළමනාකාරිනී - NCPC) යන මහත්ම මහත්මීන්