සංචාරක පැමිණීම ලක්ෂ 19ට ආසන්න වෙයි

    November, 4, 2025

    2025 ඔක්තෝම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 10ක කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාවට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව එම කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,890,687ක් ලෙසයි.

    2025 ඔක්තෝම්බර් මාසයේ 165,193ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

    ඔක්තෝම්බර් මාසයේ 7,145ක වැඩිම සංචාරක පැමිණීම 24 වන දින වාර්තා වී ඇති අතර 48,113ක වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වෙයි.

    වසරේ ගත වූ කාල සීමාව තුළ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට වනුයේ ද ඉන්දියාවයි. එම සංඛ්‍යාව දැක්වෙනුයේ 423,405ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 174,827ක්, රුසියාවෙන් 133,640ක්, ජර්මනියෙන් 116,741ක් සහ චීනයෙන් 112,454ක් ලෙස වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.