සංචාරක පැමිණීම දසලක්ෂයේ සීමාව අභියසට

    May, 16, 2025

    2025 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දසලක්ෂයේ සීමාව අභියසට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත.

    ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 956,639 ක් ලෙසයි.

    2025 මැයි මාසයේ පළමු දින 13 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 59,755 කි.

    එම කාල සීමාව තුළදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 18,812 ක් ලෙසයි.

    මීට අමතරව ජර්මනියෙන් සංචාරකයින් 4,447ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 4,256ක්, සහ චීනයෙන් 3,930ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    තව ද ශීත සෘතුවේ නිමාවත් සමඟින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් වාර්තා වුවත් 2023 හා 2024 වසරවලට සාපේක්ෂව 2025 වසරේ මෙම කාල සීමාව තුළ සංචාරක පැමිණීමෙහි ඉහළ යාමක් දැකගත හැකිය.