August, 21, 2014
මෙරට අපනයන ආදායම් ඉහළ නැගීමත් ඉන්ධන ආනයන සඳහා කළ වියදම පහත වැටීමත් හේතුවෙන් නවතම දත්ත වලට අනුව මෙරට වෙළඳ හිඟය (trade deficit) සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව, 2014 ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම් ගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 22 කින් වර්ධනය වී ඩොලර් මිලියන 986 ක්වී තිබේ. මෙහිදී, මෙම ජුනි මාසයේ ආනයන වියදම 2013 ජුනි මාසයට සාපේක්ෂව සියයට 4.6 කින් අඩුවී ඩොලර් මිලියන 1439 ක්වී ඇත.
මේ හේතුවෙන් මෙරට වෙළඳ හිඟය පිට පිටම නම වන මාසයටත් අඩුවෙමින් පසුගිය ජුනි මාසයේදී ඩොලර් මිලියන 454 ක්වී තිබීම කැපී පෙනේ.
මේ අතර, 2014 ජූලි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 25.2 කින් වර්ධනය වීම හමුවේ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ආදායම ගෙවුණු ජූලි මාසයේදී සියයට 34.4 කින් වර්ධනය වී ඩොලර් මිලියන 193.6 ක්වී තිබේ.
සමස්තයක් ලෙස ගත්විට මේ වසරේ ජූලි දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 24.7 කින් වර්ධනය වී සංචාරකයින් 861,32 දෙනෙකු පැමිණ තිබෙන අතර ඩොලර් මිලියන 1,244.4 ක ආදායමක් ලබා තිබෙන්නේ සියයට 33.9 ක ආදායම් වර්ධනයක් ලබාගනිමිනි.
මේ අතර, විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකළ ප්‍රේෂණ ආදායම් (workers’ remittances) වැඩිවීම හේතුවෙන් මෙරට ජංගම ගිණුමේ හිඟයද (current account deficit) තවදුරටත් අඩුවී ඇත.
මෙම තත්ත්වය හමුවේ මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට ගෙවුම් ශේෂයේ (balance of payments) ඩොලර් මිලියන 1,953.6 ශක්තිමත් අතිරික්තයක් තිබූ බව මහ බැංකුව කියයි.
Video Story