සක්‍රීය කොටස් වෙළෙඳපොළ ගිණුම් ගැන හෙළිදරව්වක්

    July, 1, 2024

    කොළඹ කොටස් වෙළඳපොළ ප්රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්රියාමාර්ග පිළිබඳව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
    මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.
    මෙහිදී පැමිණි නිලධාරීන් අමතමින් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේ රටේ දළ ජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවයි.
    එසේම පැමිණි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ පාසැල් අවධියේ සිටම දරුවන්ට ඉතිරි කිරීමක් සහ ආයෝජනයක් යනු කුමක්දැයි පෙන්වා දිය යුතු බවයි. එසේම කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දැනුම ලබාදීම ඉතා වැදගත් වන බවත් දැනට මෙරට වැඩිහිටියන් විශාල ප්රමාණයක් සාම්ප්රදායිකව මුදල් ඉතිරි කිරීමට පමණත් යොමු වන බවත් ඔවුන්ට කොටස් වෙළඳපොළ පිළිබඳ අවබෝධයක් නොමැති බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ නිසා 6 ශ්රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ආයෝජන පිළිබඳව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරමින් පවතින බව නිලධාරීහු වැඩිදුරටත් සඳන් කළහ.
    තවද ව්යවසායකයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බව පෙන්වා දුන් කාරක සභාව දිවයිනේ සියලු දිස්ත්රික්ක ආවරණය වන පරිදි මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
    මීට අමතරව දැනට කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා සම්බන්ධවන ආයෝජකයන් සංඛ්යාව පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසූ අතර මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නේ ආයෝජන හා සම්බන්ධ වීමට ගිණුම් 850,000 පමණ පවතින බවත් ඉන් ගිණුම් 200,000 පමණ ක්රියාකාරී මට්ටමේ පවතින බවත්ය.
    මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.