December, 28, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 25.68 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,228.51 ක් ලෙසිනි.
අද දින දක්නට ලැබුණු සුවිශේෂී කරුණ වූයේ රුපියල් බිලියන 1.7 ක පිරිවැටුමක් වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ සහ කොමර්ෂල් බැංකු සමාගමේ ගිවිසා ගත් කොටස් ගනුදෙනු කිහිපයකි.
මෙහිදී සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 16 ක් රු. 47.50 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් මිලියන 760.73 ක පිරිවැටුමක් ඉන් වාර්තා විය.
කොමර්ෂල් බැංකුවේ ගිවිසා ගත් ගනුදෙනු 3 ක් තුළින් රුපියල් මිලියන 723.17 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. 145.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,987,382 ක් ගනුදෙනු විය. මීට අමතරව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු තුළින් ද රුපියල් මිලියන 111.52 ක පිරිවැටුමක් වාර්තා කිරීමට කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනු අද දිනයේ දී සමත්ව තිබිණි.
මේ අතර අද දිනයේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී විසින් හිමිකම් නිකුතුවක් නිවේදනය කරනු ලැබූ අතර දැනට පවතින සෑම කොටස් 5 කටම නව කොටසක් රු. 25.00 බැගින් නිකුත් කිරීමට නියමිත බව එහි සඳහන් විය. මේ හේතුවෙන් අද දිනයේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී කොටස් මිල රු. 35.90 සිට රු. 32.00 දක්වා 10.86% ක පහළ යාමක් වාර්තා කරන ලදී.
අද දින පිරිවැටුමෙන් රු. මිලියන 842.86 ක් දේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 859.08 ක් දේශීය විකුණුම් වශයෙන් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 884.82 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 868.60 ක් ලෙසින් වාර්තා විය.
අද දින කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ යාම කෙරෙහි කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, HNB, ට්‍රාන්ස් ඒසියා හොටේල් හා ඩයලොග් සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.
Video Story