සන්ෂයින් හෝල්ඩින්ග්ස් S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් වෙයි

    January, 8, 2026

    සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන් පසු 2025 දෙසැම්බර් 22 වන දින සිට ක්‍රියාත්මක වේ.

    S&P Sri Lanka 20 දර්ශකයට කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කර ඇති විශාලතම මෙන්ම ශක්තිමත් බව හා ස්ථාවර ක්‍රියාකාරිත්වයක් සහිත සමාගම් 20 ඇතුළත් වේ. මෙම සමාගම් තෝරා ගනු ලබන්නේ වෙළඳපල වටිනාකම, ද්‍රවශීලතාවය, මූල්‍ය ශක්තිය සහ ස්ථාවර ලාභදායිතාවය ඇතුළු දැඩි නිර්ණායක මතය.

    මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “අප S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් වීම දශක පහකට වැඩි කාලයක් පුරාවට අපගේ සාමාජික සාමාජිකයින්ගේ සාමූහික කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක්. මෙම ජයග්‍රහණයක් තුළින් පෙන්නුම් කරන්නේ අපගේ සියලුම ව්‍යාපාරික අංශ හරහා විචක්ෂණශීලීව සැලසුම් ක්‍රියාත්මක කිරීම, ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන යාම හා අපගේ අඛණ්ඩ කාර්යසාධනයයි. අප ඉදිරියටත් කල් පවත්නා ශක්තිමත් හා තිරසාර ව්‍යාපාර ගොඩනැගීම, යහපත් පාලන පිළිවෙත් පවත්වා ගැනීම සහ සියලුම පාර්ශවකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා.” යනුවෙනි.

    S&P Sri Lanka 20 දර්ශකය අන්තර්ජාතික පිළිවෙත් හා සම්මතවලට අනුකූලව නිර්මාණය කර ඇති අතර සියලූම කොටස් ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතීන්ට Global Industry Classification Standard (GICS®) අනුව වර්ගීකරණය කර ඇත. S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් වීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබිය යුතු අතර, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් 250,000 කට අඩු නොවිය යුතුය. එමෙන්ම නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස 12ක කාලය තුල ලාභ උපයා තිබීම ද අවශ්‍ය වේ.

    සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෙම දර්ශකයට ඇතුළත් වීම තුළින් පෙන්නුම් කරන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සමූහයේ දිගුකාලීන ප්‍රගතියයි. මෙම කාලය තුළ සන්ෂයින් සමූහය පවුලේ ව්‍යාපාරයක සිට පුළුල් හා ස්ථාවර ලාභදායී සමාගමක් ලෙස පරිණාමය වී ඇත. වසර ගණනාවක් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආයතනික විශ්වාසය ගොඩනැගීම, යහපත් මූල්‍ය පාලන පිළිවෙත් ශක්තිමත් කිරීම සහ එහි කොටස් හිමියන්ගේ පදනම පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සමූහයේ මේ වන විට රුපියල් බිලියන 70 ක පමණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් ඇති අතර එමගින් කොළඹ කොටස් වෙළඳපොළ තුළ එහි විශාලත්වය, ශක්තිමත් බව හා ස්ථාවර ක්‍රියාකාරිත්වය මැනවින් පිළිබිඹු කරයි.

    වසර 58ක් පුරාවට සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. සාමාජික සාමාජිකාවන් 2000 කට ආසන්න සංඛ්‍යාවකින් සහ FY25 සඳහා රු. බිලියන 59.3ක ආදායමක් සමඟින් සමූහය මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee, Milady, Healthguard Pharmacy සහ Lina Manufacturing වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි.