සම්පත් බැංකුව නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස තවත් පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම virtual වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් කරයි

    June, 18, 2020

    ධාරා විජයතිලක මහත්මිය නියෝජ්‍ය සභාපතිනිය ලෙස පත් වෙයි

    සම්මතයෙන් ඔබ්බට යමින් සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම virtual ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා සාර්ථකව අවසන් විය. රටක් ලෙස COVID-19 පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයට අනුව යමින් සම්පත් බැංකු කොටස්හිමියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂණ තත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී පියවර අනුගමනය කරනු ලැබීය. එහිදී Zoom video සන්නිවේදන යෙදුම හරහා සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සිට එහි කොටස්හිමියන් හා සම්බන්ධ වෙමින් කිසිඳු බාධාවකින් තොරව වාර්ෂික මහා සභා රැස්වීම සජීවීව පැවැත්විණ. මෙරට බැංකු ක්ෂේත්‍රයේ බොහෝ දේ ප්‍රථම වරට හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන  සම්පත් බැංකුවේ තවත් විශිෂ්ට හදුන්වා දීමක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

    එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල (ඔන්ලයින්) ඡන්ද ක්‍රමයක් වන eBallot හරහා කොටස්හිමියන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩහසර සලසන තාක්ෂණය ද බැංකුව විසින් භාවිත කරන ලදී. සම්පූර්ණ රහස්‍ය භාවය ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිත පරිශීලනයන් සමඟ ක්ෂණික ප්‍රතිඵල මෙහිදී ඉදිරිපත් කෙරිණ. ශ්‍රී ලංකාවේ මහා සභා රැස්වීමකදී මෙම තාක්ෂණය මේ අයුරින් භාවිත කළ පළමු අවස්ථාවද මෙය විය හැකිය.

    මෙම රැස්වීමේදී 2019 මූල්‍ය වර්ෂය සඳහා එක් කොටසකට රුපියල් 11.75ක් බැගින් වූ රුපියල් බිලියන 4.5 ක මුදලක් අවසන් ලාභාංශය ලෙස ගෙවනු ලබන බව ප්‍රකාශ විය.

    තවද ධාරා විජයතිලක මහත්මිය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්පත් බැංකු නියෝජ්‍ය සභාපතිනිය ලෙස පත් කළ අතර මෙම පත්වීම මහා සභා රැස්වීම අවසන් වූ පසු බලාත්මක වේ.

    Virtual මහා සභා රැස්වීම පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා “නව්‍යකරණය සෑම මොහොතකම අපගේ බැංකු කටයුතු වල මූලික හරය වී ඇති අතරම අන්තර්ජාල මාර්ගගත විසඳුම් ද තාක්ෂණයෙන් දියුණු වත්මන් ලෝකයේ නව සම්මතයක් බවට වේගයෙන් පත් වෙමින් තිබෙනවා. මෙරට බැංකු ක්ෂේත්‍රයට තවත් දෙයක් ප්‍රථම වරට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාවට කිසිඳු බලපෑමක් සිදු නොකරමින්, සහභාගීත්වය වෙනුවෙන් පහසුකම් සපයමින් අපගේ වටිනා කොටස්හිමියන් වෙනුවෙන් වගකීම් පරිපූර්ණ කිරීමට හැකි වීම පිළිබඳවත් ඉතාමත් සතුටට පත් වෙනවා. COVID -19 ව්‍යාප්තියට එරෙහි අපගේ සටන සාමූහිකව ඉදිරියට ගෙන යන අතරතුර සාර්ථකත්වය මෙන්ම ආරක්ෂාවද සහතික කරන නව මෙහෙයුම් ක්‍රමවේදයන් සොයා ගනිමින් හා නව්‍යකරණයට ලක් කරමින් ඉදිරියට යන ලෙස අපි සියලු ක්ෂේත්‍රයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

    1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීනතම මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදටත් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස ඉදිරියට යමින් සිටියි. ගනුදෙනුකරුවන්ට ගැළපෙන විසඳුම්, විශිෂ්ට සේවය සහ ගනුදෙනුකරුවන්ට සමීප බව හේතුවෙන් ක්ෂේත්‍රය තුළ සම්පත් බැංකුවේ අනන්‍යතාව තහවුරු කර ඇති අතර ඒ නිසාම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ තේරීම බවටද සම්පත් බැංකුව පත්ව ඇත.

    ඡායාරූප විස්තරය - (ප්‍රධාන මේසයේ අසුන්ගෙන) සම්පත් බැංකුවේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ (මැද) මහා සභා රැස්වීම හසුරුවමින්, එසේම සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (වමේ සිට තෙවැන්නා),විධායක නොවන අධ්‍යක්ෂකවරුන් වන රනිල් පතිරණ සහ රුෂංක සිල්වා යන මහත්වරුන් (වමේ සිට දෙවැන්නා සහ දකුණු පස කෙළවර), සමාගම් ලේකම් ලසන්ත සේනාරත්න මහතා (දකුණේ සිට දෙවැන්නා) සමූහ ප්‍රධාන මූල්‍ය නිළධාරී අජන්ත ගුණසේකර මහතා (වම්පස කෙළවර), නිත්‍යා පාට්නර්ස් නීතීඥවරු නියෝජනය කරමින් ආචාර්ය අරිත වික්‍රමනායක (දකුණේ සිට තෙවැන්නා) සහ අර්නස්ට් ඇන්ඞ් යන්ග් වරලත් ගණකාධිකාරීන් නියෝජනය කරමින් සනත් ප්‍රනාන්දු මහතා (වමේ සිට සිව්වැන්නා) ඡායාරූපයේ වේ.