සම්පත් බැංකුව සිය දිගු කාලීන වර්ධනය සඳහා උපාය මාර්ගයන් ස්ථාපිත කළ වසරක් ලෙස 2025 වසර නම් කරයි

    March, 10, 2026

    සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි.

    සම්පත් සමූහය, 2025 වසර අවසානයේදී තම ඉතිහාසයේ ඉහළම ලාභය වූ රුපියල් බිලියන 53.0 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 32.6 ක බදු පසු ලාභයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර  හා සැසඳීමේ දී පිළිවෙළින් 8% හා 13% ක වාර්ෂික වර්ධනයකි. එමෙන්ම සමූහයේ මුළු වත්කම් ප්‍රමාණය ද 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යාමට සමත් වූ අතර, එය 2024 වසර අවසානය හා සැසඳීමේ දී 12% ක වර්ධනයකි.

    සම්පත් බැංකුවද 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා තම ඉතිහාසයේ ඉහළම ලාභය වූ රුපියල් බිලියන 49.3 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 30.2 ක බදු පසු ලාභයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී පිළිවෙළින් 5% හා 11% ක වාර්ෂික වර්ධනයන් පෙන්නුම් කරයි. 2024 වසරේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් වාර්තා වූ අතිරේක ලාභය නොසලකා හැරියහොත් 2025 වසරේ බැංකුවේ බදු පෙර හා පසු ලාභයන්හි 22% ක ශක්තිමත් ඉහළ යාමක් වාර්තා කරනු ඇත. තවද, 2025 වසර තුළදී බැංකුවේ ණය කළඹ රුපියල් බිලියන 259 කින් වර්ධනය වූ අතර ‍එය, 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 965 සිට රුපියල් ට්‍රිලියන 1.2 දක්වා 27% කින් ඉහළ නංවා ගැනීමට සමත් විය.

    2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා වාර්තා වූ කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල

    • කොටසකට රුපියල් 10.30 ක පළමු හා අවසාන මුදල් ලාභාංශයක් ප්‍රකාශයට පත් කිරීම. මෙය පෙර වසරට සාපේක්ෂව කොටසකට රුපියල් 0.95 ක ඉහළ යාමකි.
    • ස්කන්ධය මත ඉපැයුම් (ROE) 2024 වසරේ පැවැති 17.74% සිට 17.93% ක් දක්වා ඉහළ යාම.
    • 2025 අගෝස්තු මස සිට ණය ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් වීම හේතුවෙන්, ණය කළඹේ මාසික සාමාන්‍යය වර්ධනය රුපියල් බිලියන 36.5 ක් ලෙස වාර්තා විය.
    • ණය කළඹෙහි ගුණාත්මකභාවය ඉහළ යාම හේතුවෙන් අදියර 2 හා 3 ණය ප්‍රමාණය පහත වැටීම.
    • බැංකුවේ දිගුකාලීන ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගික ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ප්‍රාග්ධන හා මෙහෙයුම් වියදම් ඉහළ යාම.
    • මුළු බදු වියදම රුපියල් බිලියන 33 ඉක්මවා ගිය අතර සඵල බදු අනුපාතය 52.3% ක් ලෙස වාර්තා විය.
    • පළමු පෙළ හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙළින් 14.75% හා 17.65% ක් ලෙස අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම.

    2025 වසරේදී බැංකුවේ මුළු ආදායම පෙර වසරට සාපේක්ෂව 12% ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 218.8 ක් ලෙස වාර්තා වූ අතර, මේ සඳහා පොළී ආදායම, ගාස්තු හා කොමිස් ආදායම් හා අනෙකුත් ආදායම් දායක විය. 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා බැංකුවේ මුළු පොළී ආදායම රුපියල් බිලියන 181.1 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 1% ක පහත වැටීමකි. මේ සඳහා වසර තුළදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) අඛණ්ඩව පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොළී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. එසේම වර්ධනය වූ තැන්පතු හා ණය ගැනුම් හේතු කොට ගෙන ඉහළ ගිය පොළී වියදම හේතුවෙන් ශුද්ධ පොළී ආදායමද පෙර වසරට සාපේක්ෂව 3% ක පහත වැටීමක් සහිතව 2025 වසර සඳහා රුපියල් බිලියන 77.8 ක් ලෙස වාර්තා විය.

    මීට සමගාමීව ශුද්ධ පොළී ආන්තිකය ද 2024 වසර අවසානයේ පැවති 4.90% සිට 2025 වසර අවසානය වන විට 4.11% ක් දක්වා පදනම් ලකුණු 79 කින් පහත වැටිණ.

    ශක්තිමත් ආර්ථික වර්ධනය, ණය කළඹෙහි ඉහළ යාම හා කාඩ්පත් භාවිතය ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව 21% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 21.2 ක් ලෙස වාර්තා විය.

    බැංකුව 2025 වසර සඳහා රුපියල් බිලියන 0.6 ක අපහායන වියදම් ආපසු හැරවීමක් වාර්තා කරන ලද අතර, එය පෙර වසරේ වාර්තා කරන ලද අපහායන ආපසු හැරවීමට සාපේක්ෂව රුපියල් බිලියන 11.1 ක පහත වැටීමකි. 2024 වසරේ වාර්තා කරන ලද මුළු අපහායන ආපසු හැරවීමෙන් රුපියල් බිලියන 15.8 ක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසා හඳුනා ගන්නා ලදී. මෙම ආපසු හැරවීම වාර්තා නොකලේ නම්, එම වසර සඳහා රුපියල් බිලියන 4.1 ක අපහායන වියදමක් හඳුනා ගත යුතුව තිබිණ.

    මෙම වර්ෂය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වාර්තා කරන ලද අතර, මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හා නව උපායමාර්ගික මුලපිරීම් ක‍්‍රියාවට නැංවීම සඳහා සිදුකල නව සේවක බඳවා ගැනීම් හේතුවෙන් පුද්ගල පිරිවැය ඉහල යාම, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වියදම් ඉහළ යාම හා අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය.

    මීට අමතරව මුළු බදු වියදම 2024 වසර සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 32.6 සිට 2025 වසර සඳහා රුපියල් බිලියන 33.2 ක් දක්වා ඉහළ යන ලද අතර, මේ සඳහා බදු අය කිරීමට යටත් වූ ආදායමේ ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. තවද වසර තුළදී රජය වෙත ‌ගෙවන ලද මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 39.0 ඉක්මවන ලදී.

    වර්ෂය පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවයන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2025 දෙසැම්බර් 31 වන ‌දිනට පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 14.75%, 14.75% හා 17.65% ක් ලෙස වාර්තා කරන ලදී.

    බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය 2026 මාර්තු මස 30 වන දින පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේ දී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව, 2025 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 10.30 ක අවසාන මුදල් ලාභාංශයක් නිර්දේශ කර ඇති අතර, 2025 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය 39.98% ක් විය (2024 – 40.13%).

    සම්පත් බැංකුව සතු මුළු වත්කම් 11% ක වර්ධනයක් සහිතව 2025 දෙසැම්බර් 31 දින වන විට රුපියල් ට්‍රිලියන 1.98 ක් ලෙස වාර්තා වූ අතර ඒ සඳහා ණය හා අත්තිකාරම්, 2024 වසර අවසානයට වාර්තා කරන ලද රුපියල් බිලියන 964.6 සිට 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 1,223.6 දක්වා රුපියල් බිලියන 259 කින් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. බැංකුවේ මුළු තැන්පතු කළඹ රුපියල් බිලියන 178.1 කින් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් 12% ක වර්ධනයක් සහිතව 2025 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.80 ක් ලෙස වාර්තා විය.