සම්පත් බැංකුව 2017 වසරේ පළමු කාර්තුව තුළ බදු පසු ලාභය රුපියල් බිලියන 2හි සීමාව පසු කරයි

    May, 15, 2017

    2017 වසර විශිෂ්ට ලෙස ආරම්භ කරමින්, සම්පත් බැංකුව 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 2.3ක බදු පසු ලාභයක් (PAT) අත්කර ගනිමින් රුපියල් බිලියන 2.0හි සීමාව පසුකරන ලදී. මෙය, 2016 වසරේ පළමු කාර්තුව තුල වාර්තා කරන ලද රුපියල් බිලියන 1.7ක බදු පසු ලාභයට සාපේක්ෂව 34.6%ක සුවිශේෂි වර්ධනයකි. බදු පෙර ලාභයද (PBT) වාර්ෂිකව 36.4% කින් වර්ධනය වී 2017 වසරේ පළමු කාර්තුව අවසානයේදී රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් විය. සම්පත් බැංකුව සහ සම්පත් බැංකුවට, සම්පූර්ණයෙන්ම අයත් පරිපාලිත සමාගම් හතරකින් සමන්විත සම්පත් සමූහයද බදු පෙර ලාභය සහ බදු පසු ලාභයෙහි පිළිවෙලින් 33.3%ක සහ 29.5% ක වර්ධනයක් වාර්තා කරන ලදී.

    2017 වසරේ පළමු කාර්තුව තුළ සියලුම ප්‍රධාන ව්‍යාපාර ස්ථරයන්හී සැලකිය යුතු වර්ධනයක් අත්කරගැනීමට බැංකුව සමත්විය.

    අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)

    බැංකුවේ මුළු මෙහෙයුම් ආදායමෙන් 70%කට වඩා නියෝජනය කරන බැංකුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන ශුද්ධ පොලී ආදායම (NII), සමාලෝචිත කාලසීමාව තුළදී, රුපියල් බිලියන 1.7 ක (36.1%) ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව, බැංකුව 2016 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද රුපියල් බිලියන 4.7ට සාපේක්ෂව 2017 වසරේ පළමු කාර්තුව තුළ ශුද්ධ පොලී ආදායම ලෙස රුපියල් බිලියන 6.3ක් වාර්තා කරන ලදී.

    බැංකුව විසින් යොදාගත් වත්කම් හා වගකීම් නිෂ්පාදන කාලීනව ප්‍රතිමිලකරණය සහ අනෙකුත් අරමුදල් කළමනාකරණ ක්‍රමෝපායන් මගින්ද, තැන්පතුවල 4.4% (වාර්ෂිකව 18%) ක සහ අත්තිකාරම්වල 6.5% (වාර්ෂිකව 26%) ක වර්ධනයක් තුලින් අත්කරගත් බැංකුවේ අරමුදල් පදනමෙහි ශක්තිමත් වර්ධනයද තුළින් ඉහත සඳහන් කල ශුද්ධ පොලී ආදායමෙහි වර්ධනය අත්කර ගැනීමට බැංකුවට හැකි විය.

    අරමුදල් මත පදනම් නොවූ ආදායම (NFBI)

    විශාල වශයෙන් ණය, වෙළෙඳ කාඩ්පත් සහ විද්‍යූත් මාර්ග ආශ්‍රිත ගාස්තුවලින් සමන්විත, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 2016 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා කරන ලද රුපියල් බිලියන 1.5ට සාපේක්ෂව සමාලෝචිත කාර්තුව තුළ රුපියල් බිලියන 1.9 දක්වා වැඩිවී ඇත. මෙම වැදගත් ආදායම් ප්‍රභවයෙහි 32.5%ක සැලකිය යුතු වාර්ෂික වර්ධනයක් වාර්තා කිරීමට හැකි වූයේ ණය හා වෙළෙඳාම ආශ්‍රිත අංශ කෙරෙහි බරතැබීම, ණය කාඩ්පත් මෙහෙයුම් පුළුල් කිරීම සහ විද්‍යූත් මාර්ග පිරිනැමීම් තුළින් නව්‍යකරණ අගය එකතු කිරීම් සාර්ථකව දියත් කිරීම මඟිනි.

    පසුගිය වසරේ අනුරූප කාලසීමාව හා සැසඳීමේදී සමාලෝචනයට ලක්වන කාලපරිච්ඡේදය තුළ බැංකුවේ අනෙකුත් මෙහෙයුම් ආදායම 7.1%ක සුළු වැඩිවීමක් වාර්තා කරන ලදී. පාලිත සමාගම්වල ලාභාංශ ආදායමෙහි වැඩිවීම සහ උපලබ්ධිවූ විනිමය හුවමාරු ආදායමෙහි වැඩිවීම, මෙම ආදායම් ප්‍රභවයෙහි වැඩිවීම සඳහා දායක වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ පළමු කාර්තුව සඳහා වූ අනෙකුත් මෙහෙයුම් ආදායම 2016 වසරේ පළමු කාර්තුව සඳහාවූ රුපියල් මිලියන 724.9ට සාපේක්ෂව රුපියල් මිලියන 776.2ක් ලෙස වාර්තා විය.

    මෙහෙයුම් වියදම්

    2016 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 3.4ක්ව පැවති බැංකුවේ මෙහෙයුම් වියදම්, 15.9%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරමින් සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 4.0 දක්වා වැඩිවිය. මෙම ඉහළ යාමට, වැටුප් වර්ධක සහ අනෙකුත් අදාළ වියදම් මගින් වැඩි වූ ඉහල සේවක මණ්ඩල වියදම් මෙන්ම පොදුවේ මිල ඉහලයෑම් හා බදු වැඩිවීම් යනාදිය ප්‍රධාන වශයෙන් හේතු විය. එසේවුවත්, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු රහිත පිරිවැය ආදායම් අනුපාතය 2016 වසරේ අනුරූපී කාලසීමාව තුළ වාර්තා කරන ලද 50.8%ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ 43.7% දක්වා අඩු වී ඇත. විශේෂයෙන්ම සමීපතම තරඟකරුවන්ට සාපේක්ෂව සම්පත් බැංකුව සතු නවක ශාඛා ජාලය හමුවේ පිරිවැය ආදායම් අනුපාතය පදනම් ලකුණු 710කින් (7.1%කින්) අඩුවීම වැදගත් ජයග්‍රහනයක් ලෙස සඳහන් කල හැක.

    ණය සහ ලැබීම් මත අපහායන අයකිරීම්

    2017 වසරේ පලමු කාර්තුව සඳහා වූ අපහායන අයකිරීම් රුපියල් මිලියන 646.1ක් වූ අතර, එය පසුගිය වසරේ අදාල කාලසීමාව සඳහා වූ රුපියල් මිලියන 216.5 ක අපහායන අයකිරීමට වඩා රුපියල් මිලියන 429.6ක වැඩිවීමකි. නවතම වෙළෙඳ පොල තත්ත්වයන් සලකා බැලීමෙන් පසු දැනටමත් අපහායනය කළ ගනුදෙනුකරුවන් සඳහා සිදුකළ වෙන්කිරීම් වැඩි කිරීම හේතු කොට ගෙන, තනි තනිව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සඳහා වූ අපහායන අයකිරීම රුපියල් මිලියන 384.9කින් වැඩිවිය. අනෙක් අතට, ප්‍රධාන වශයෙන්ම ණය කළඹෙහි වූ වර්ධනය හේතු කොට ගෙන සාමුහික අපහායන අයකිරීම රුපියල් මිලියන 44.7කින් වැඩි වී ඇත.

    ව්‍යාපාර වර්ධනය

    2017 වසරේ පළමු කාර්තුව තුළ, සම්පත් බැංකුවේ මුළු වත්කම් පදනම 5.1% (වාර්ෂිකව 20%)කින් වර්ධනය වූ අතර 2017 මාර්තු 31 දිනට එය රුපියල් බිලියන 692.1ක් විය. 2016 දෙසැම්බර් 31 දිනට මුළු වත්කම් පදනම රුපියල් බිලියන 658.5ක් විය. අදාළ කාලසීමාව තුළ දළ ණය හා ලැබීම් 6.5% (වාර්ෂිකව 26%)කින් වර්ධනය වූ අතර 2017 මාර්තු 31 දිනට රුපියල් බිලියන 498.9 දක්වා (රුපියල් බිලියන 30.4කින්) එය වර්ධනය විය. මුළු තැන්පතු පදනමද මෙම කාලසීමාව තුළ 4.4% (වාර්ෂිකව 18%)ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 22.9කින් වැඩි වූ අතර එය වාර්තා කරන දිනයට රුපියල් බිලියන 539.2ක් විය. 2016 දෙසැම්බර් 31 දින සිට 2017 මාර්තු 31 දින දක්වා කාලය තුළ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 38.4% නොවෙනස්ව පැවතිණ.

    කාර්යය සාධන අනුපාතයන්

    ස්කන්ධය මත ඉපයීම (බදු පසු) 2016 දෙසැම්බර් 31 දිනට පැවති 23.47% සිට 2017 මාර්තු 31 දිනට 20.72% දක්වා පහත වැටිණි. එම කාලසීමාව තුළ, වත්කම් මත ඉපයීම (බදු පෙර ) 2.14% සිට 2.10% දක්වා සුළු වශයෙන් අඩු වීමක් සිදුවී ඇත. එසේවුවත්, 2016 මාර්තු 31 දිනට සාපේක්ෂව 2017 මාර්තු 31 දිනට ස්කන්ධය මත ඉපයීම සහ වත්කම් මත ඉපයීම යන අනුපාත දෙකම වැඩිවීමක් වාර්තා කර ඇත. 2017 වසරේ පළමු කාර්තුව තුළ කොටසක මූලික ඉපයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලසීමාව තුළ වාර්තා කරන ලද රුපියල් 9.34ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව අවසානයේ රුපියල් 12.57ක් විය. මෙය 34.6%ක සුවිශේෂි වාර්ෂික වර්ධනයකි. 2016 දෙසැම්බර් 31 දිනට වාර්තා කළ අනුපාතයට (21.84%) සාපේක්ෂව සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් 2017 මාර්තු 31 දිනට ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය (SLAR) 21.94%ක් විය. අදාළ කාලසීමාව පුරා 20%ක අවම ව්‍යවස්ථාපිත මට්ටමට වඩා ඉහළින් ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය පවත්වාගෙන යාමට බැංකුව සමත් වී ඇත. එසේවුවත්, සම්පත් බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය ණයවල ගුණාත්මකභාවයෙහි සුළු පිරිහීම හේතු කොට ගෙන 2016 දෙසැම්බර් 31 දිනට වාර්තා කළ 1.61% සිට 2017 මාර්තු 31 දිනට 1.73% දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත.

    ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය

    2016 දෙසැම්බර් 31 දිනට පිළිවෙලින් 8.31% හා 12.87% මට්ටමේ පැවති පළමු පෙළ (Tier I) සහ මුළු ප්‍රාග්ධන (Tier I+ Tier II ) ප්‍රමාණාත්මතා අනුපාත මෙම කාලසීමාව තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර, ඒ සඳහා අවදානම මත බරතබන ලද වත්කම්වල වැඩිවීමට හේතු වූ ණය කළඹෙහි වර්ධනය සහ මුදල් ලාභාංශ ගෙවීම හේතු විය. ඒ අනුව, 2017 මාර්තු 31 දිනට පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙලින් 7.68% සහ 11.93% ක් විය. මෙම සුළු පහත වැටීම හමුවේවුවත්, පළමු පෙළ ප්‍රාග්ධනය සඳහා 5% සහ මුළු ප්‍රාග්ධනය සඳහා 10% යන අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ අගයක එම අනුපාත දෙක පවත්වා ගන්නා ලදී.

    අනෙකුත් තොරතුරු

    සම්පත් බැංකුව එහි 30 වැනි සංවත්සරය 2017දී සමරන බැවින් මෙම වසර සම්පත් බැංකුවට ඉතා වැදගත් වසරකි. 1987 බැංකුව ස්ථාපිත කිරීමේ පටන්, එහි මෙහෙයුම්වල සියලූම අංශයන් අඛණ්ඩව සංවර්ධනය කරගෙන ඇති අතර වර්තමානයේ මෙම බැංකුව ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය තුළ තෙවැනි විශාලතම වාණිජ බැංකුව ලෙස ස්ථාපිත වී ඇත. පසුගිය දශක තුන තුළ, බැංකුව එහි නව්‍යකරණ බැංකුකරණ විසඳුම් සහ අනර්ඝ ගනුදෙනුකාර සේවය වෙනුවෙන් කීර්තියට පත් වී ඇත.