සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බලශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

    July, 2, 2024

    2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එකී පනතට පසුව සිදු කරන ලද සංශෝධන අනුව මෙගාවොට් 10 හෝ ඊට අඩු ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘතිවලට අදාළව තාක්ෂණය මුල් කරගත්, පිරිවැය පරාවර්ථක අවශෝෂක ගාස්තු (Feed In Tariff) ක්‍රමවේදයක් යටතේ සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු වේ.

    ඒ අනුව, පුනර්ජනනීය බලශක්තිය මිල දී ගැනීමේ විචල්‍ය ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-03-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, සංවර්ධකයින් කිහිපදෙනෙකු පමණක් ඒ සඳහා ගිවිසුම අත්සන් තැබීමට පියවර ගෙන ඇත.

    එබැවින්, පුනර්ජනනීය බලශක්තිය ගාස්තු ගණනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.

    එකී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති මිල ගණනය කිරීමේ සූත්‍රය පිළිගැනීමටත්, යෝජිත ගාස්තු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.