සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    November, 24, 2015

    මෙරට ලියාපදිංචි බොහෝ සමාගම් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවත් එවැනි සමාගම් යළි ක්‍රියාකාරී කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවක් සියලුම ලියාපදිංචි සමාගම් වෙත පනවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අයවැය යෝජනා තුළින් පසුගිය දා අනාවරණය කළේය.

    මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්වකැමැත්තෙන් කරනු ලබන සමාගම් ඈවර කිරීම් අධෛර්යමත් කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් ඈවර කරනු ලබන සමාගම්වලින් රු. 500,000 ක් අය කිරීමට යෝජනා කරන බවයි.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාගම් ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන්ම අද දෙරණ Biz කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ, සමාගමක් ඈවර කිරීම සඳහා මීට පෙර එවැනි ගාස්තුවක් අය නොකළ බවත්, ඒ සඳහා සම්පූර්ණ කළ යුතු පෝරම වෙනුවෙන් පමණක් පෝරම ගාස්තුවක් ගෙවීමට තිබුණු බවත්ය.

    මේ සම්බන්ධයෙන් ඊයේ පැවති අයවැය සම්මන්ත්‍රණයක දී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරියක වන ධම්මිකා ගුණතිලක අදහස් දැක්වූ අතර එහිදී ඇය කියා සිටියේ, ඊයේ උදෑසන පැවති හමුවක දී මුදල් අමාත්‍යවරයා මෙම ඈවර කිරීමේ ගාස්තුව රු. 50,000 දක්වා අඩු කිරීමට පියවර ගන්න බව සඳහන් කළ බවයි.

    මීට අමතරව අලුතින් ඇතිකරනු ලබන ව්‍යාපාරික ආයතන සඳහා ජල විදුලි සම්බන්ධතා ලබා ගැනීමට සහ බැංකු ණය ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් 2016 ජනවාරි 01 වනදා සිට සියලූම ව්‍යාපාරික ආයතන අදාළ පළාත් පාලන ආයතනවල වසරකට රු. 100 ක නාමික ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය යුතු බවට ද යෝජනාවක් මෙවර අයවැය යෝජනා තුළ අන්තර්ගත කර තිබේ.

    මේ පිළිබඳ මුදල් අමාත්‍යවරයා සභාගත අයවැය යෝජනාව පහත පරිදි වේ.