August, 30, 2016
ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්යක්ෂ ධූර ඇතුලු මුල් පුටුවල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. මේ බව අදාළ සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
හේමාස් සමූහයට අයත් සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි කළමනාකරණ අධ්යක්ෂ ඩී.ටී. ආර් ද සිල්වා 2016 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ. තවද මොහු හේමාස් සමූහයේ තවත් හෝටල් ද්විත්වයක් වන ඩොල්ෆින් හෝටලයේ සහ හොටේල් සීගිරිය හෝටලයේ දැරූ අධ්යක්ෂ ධූරවලින් ඉවත් වී තිබේ.
නමුණුකුල වැවිලි සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ප්‍රසන්න ප්‍රනාන්දු 2016 අගෝස්තු 25 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරින් ඉවත් වී ඇත.
මස්කෙළිය වැවිලි සමාගමේ අධ්යක්ෂ මංගල බෝයගොඩ 2016 අගෝස්තු 23 සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ලංකා හොස්පිටල් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත පත්ව ඇත.
2016 අගෝස්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් කම්පැනි පීඑල්සී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ ආචාර්ය ඩී.එල්.ජේ.පී.ඒ.පී. ජයසූරිය ඉවත් වී ඇත.
තලවාකැලේ වැවිලි සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් එස්.එල්. අතුකෝරල පත්ව ඇත. 2016 අගෝස්තු 18 සිට මෙම පත්වීම බලපැවැත්වෙන බව සමාගම නිවේදනය කර සිටී.
කෙමනෙක්ස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් 2016 අගෝස්තු 29 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය සුමිත්‍ර අනුර බණ්ඩාර ඒකනායක පත්කර ඇත.
කොටස් වෙළෙඳපොළේ සමාගම් ලැයිස්තුගත කිරීමේ නීති රෙගුලාසිවලට අනුව යම් සමාගමක ප්‍රධාන පෙළේ නිලධාරියෙකුගේ පත්වීමක් හෝ ඉවත්ව යාමක් සිදුව හොත් ඒ බව හැකි වහාම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අනාවරණය කළ යුතු වේ.