සමාගම් වසා දමන්න සමාගම් හිමියෝ සමාගම් මැදුරේ පෝළිම් ගැසෙති Video

    December, 31, 2015

    රජයේ නව අයවැය යෝජනාවන්ට අනුව ලියාපදිංචි සමාගම් සඳහා වන ගාස්තු ඉහළ දැමීම හේතු කොට ගෙන බොහෝ කුඩා පරිමාණ සමාගම් හිමියන් සිය සමාගම් වසා දමන්නට පියවර ගෙන තිබේ. එසේම පවතින සමාගමක් ඈවර කිරීම සඳහා ලබන වසරේ සිට රුපියල් ලක්ෂ 5 ක ගාස්තුවක් අයකරන බව ද මුදල් අමත්‍යාවරයා සිය අයවැය කතාවේ දී යෝජනා කර තිබුණි. මේ හේතුව නිසා දැනට අක්‍රීය මට්ටමේ හා කුඩා පරිමාණයෙන් ක්‍රියාත්මක සමාගම් රැසක් වසා දැමීම කෙරෙහි ඒවායේ හිමිකරුවන්ගේ අවධානය යොමු ව තිබෙන බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මේ හේතුව නිසා අද දිනයේ දී කොලඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි සමාගම් මැදුරේ දිගු පෝළිම් තිබෙනු දක්නට විය.

    වාර්තාවන පරිදි සමාගම් ලියාපදිංචි ගාස්තු ලබන වසරේ සිට ඉහළ දමා තිබේ. එසේම පවතින සමාගමක වාර්ෂික වාර්තා ගොනු කිරීම (Annual returns filling) වෙනුවෙන් රු. 5,500 ක වාර්ෂික ගාස්තුවට අමතරව 2016 වසරේ පටන් රු. 60,000 ක බද්දක් ද අයකිරීමට නියමිත බව වාර්තා වේ. තවද මේ දක්වා සුළු පෝරම ගාස්තුවකට පමණක් යටත්ව සමාගමක් ඈවර කිරීමට හැකියාව තිබුණද ලබන වසරේ සිට රු. 500,000 ක ගාස්තුවක් අයකරනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා අයවැය කතාවේ දී පැවසීය. පසුව එය රු. 250,000 දක්වා ද, ඉන්පසුව රු. 50,000 දක්වා ද මෙම ගාස්තුව සංශෝධනය විය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අද දෙරණ Biz, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් රන්ජන් සිරිවර්ධන මහතා සම්බන්ධ කරගන්නා ලදී.
    “2016 අයවැය යෝජනා අනුව සීමිත සමාගම් සඳහා අදාළවන ගාස්තු ඉහළ දැමීමට සඳහනක් වෙලා තිබෙනවා. මේ පිළිබඳ තවමත් සාකච්ඡා මට්ටමේ තමයි තිබෙන්නේ. ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළායින් පසුව තමයි අපට එය ක්‍රියාවට නැංවිය හැකිවන්නේ. තවම ගැසට් නිවේදනය සකස් කෙරිලා නැහැ.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා, අද දෙරණ Biz හා කියා සිටියේ මෙම තත්ත්වය යටතේ වසා දැමීම සඳහා ඉල්ලීම් කර තිබෙන බොහෝ සමාගම් අක්‍රීය මට්ටමේ පැවති ඒවා බවයි. මේ තත්ත්වය මත හෙට දිනයේ දී, එනම් 2016 ජනවාරි 01 වැනිදා සමාගමක් වසා දැමීමට හෝ වාර්ෂික වාර්තා ගොනුගත කිරීමට අයදුම් කෙරුණහොත් පැරණි ගාස්තු ක්‍රමවේදය අනුව ඊට අයකිරීම් සිදුකරන බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ සමාගම් මැදුරට පැමිණ සිටි නීතිඥ මහතෙකු කියා සිටියේ තමන් ලේකම්ධූරය දැරූ සමාගම් 4 ක් වසාදැමීමට ඊයේ (30) දිනය තුළ කටයුතු කළ බවයි. “බොහෝ සුළුපරිමාණ ව්‍යාපාරිකයින් මෙම තත්ත්වය තුළ සීමිත සමාගම් ලෙසින් ලියාපදිංචි කර තිබෙන ඔවුන්ගේ සමාගම් ඈවර කරන්නට පියවර ගෙන තිබෙනවා. වාර්ෂික වාර්තා ගොනු කිරීමට යෝජනා වී තිබෙන ගාස්තුව ඉතා වැඩියි. එය ඔවුන්ට දරන්න බැහැ. මේ නිසා එවැනි ඉහළ ගාස්තුවක් ගෙවා තම සමාගම් පවත්වා ගෙන යාමට ඔවුන් උත්සුක වන්නේ නැහැ“, යැයි ඒ මහතා අද දෙරණ Biz සමඟ පැවසීය.

    https://www.youtube.com/watch?v=5Bbrr8nAGWI