සමුද්‍රයීය කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ අවධානය

    September, 17, 2025

    සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක්‍

    සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවැත්විණි.

    සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධ පාර්ශ්වකරුවන් විසින් මෙහිදී සිය ක්ෂේත්‍රවලට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කරන ලද අතර, මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.

    එමෙන්ම, සමුද්‍රයීය කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායක කර ගැනීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.

    ආනයන සහ අපනයන වර්ධනය කර ගැනීම සඳහා සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය පුළුල් ලෙස දායක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, දැනට අක්‍රීයව පවතින වරාය සංවර්ධනය කර ආදායම් උපයා ගැනීම කෙරෙහිද අවධානය යොමු විය.

    යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම සහ තරගකාරීත්ව සේවා සැපයීම මගින්, ශ්‍රී ලංකාවට ගෝලීය සමුද්‍රයීය ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ අමාත්‍යාංශ නිලධාරීහුද, සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.