සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය නැංවීම වෙනුවෙන් හර්ෂ ශක්තිමත් ඉදිරි පියවරක් තබයි

    October, 26, 2015

    ඉන්දීය සාගරයට වටද්දර රටවල් සමග සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය (Marine Economic Cooperation) වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාවන් පිළිබඳව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාව, මුරුසිය, දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය.

    එම සාකච්ඡාවන් පැවැත් වූයේ ඉන්දීය සාගරයට වටද්දර රටවල සංවිධානයේ (IORA) අමාත්‍යවරුන්ගේ කවුන්සලය විසින් ඔක්තෝම්බර් 23 වනදා ඉන්දුනීසියාවේ පඩන්ග් නුවරදී පැවැත්වූ 15 වන රැස්වීමට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී අවස්ථාවේ දීය.

    ඉන්දීය සාගරයට වටද්දර රටවල් සමග සමුද්‍රික ආර්ථික සහයෝගීතාවය (Marine Economic Cooperation) තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡා තුළින් ශක්තිමත් ඉදිරි පියවරක් තැබූ බව මෙම සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉන්දීය සාගරයට වටද්දර රටවල සංවිධානය (IORA- Indian Ocean Rim Association) යනු ඉන්දීය සාගරයට මායිම් වූ රටවල් සහ ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් නියෝජනය කරන සංවාද පාර්ශවකරුවන් හත් දෙනෙකු ඇතුළත් එකම කළාපීය සංවිධානයයි. ඉන්දීය සාගරයට වටද්දර රටවල සංවිධානය (IORA) එකිනෙකාගේ සහයෝගය තුළින් සාමාජික රටවල් අතර ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික සහයෝගීතාවය ශක්තිමත් කරන කළාපීය සමුළුක් ලෙස ක්‍රියා කරයි. සාගර ආරක්ෂාව, වෙළඳාමට සහ ආයෝජනයන්ට පහසුකම් සැලසීම, ධීවර සහ ජලජීවී කළමනාකරණය, අධ්‍යාපනික මෙන්ම විද්‍යා හා තාක්ෂණික සහයෝගීතාවය, සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික හුවමාරුව මෙම සංවිධානය ප්‍රමුඛතාවය දක්වන අංශ වන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ කළාපයේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමයි.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවර කවුන්සලයට ඉදිරිපත් කළ නිවේදනය තුළින් අභියෝග ජයගනිමින් ප්‍රතිලාභ ලබාගැනීමට ඉන්දීය සාගරයට වටද්දර රටවල කළාපීය සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර මෙම සංවිධානයේ අරමුණු සහ ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවද සඳහන් කළේය.

    ඉන්දීය සාගරයට වටද්දර රටවල සංවිධානයේ (IORA) සංවාද පාර්ශව කරුවන් වන චීනය, ජපානය, ඊජිප්තුව, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල් මෙම සංවිධානයේ වර්තමාන සහ අනාගත වැඩසටහන් සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන බව මෙහිදී සහතික කළේය.

    ඡායාරූප සටහන 01-ඉන්දීය සාගරයට මායිම්වූ රටවල සංවිධානයේ (IORA) අමාත්‍යවරුන්ගේ කවුන්සලයේ හිටපු සභාපතිනිය වන ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී, ජුලී බිෂොප් මහත්මිය සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

    ඡායාරූප සටහන 02-විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දීය සාගරයට මායිම්වූ රටවල සංවිධානයේ (IORA) අමාත්‍යවරුන්ගේ කවුන්සලයේ 15 වන රැස්වීමට සහභාගී වූ විදේශ අමාත්‍යවරුන් සමග

    H

    Video Story

    Stock Market

    Exchange Rates