සල්ලි අච්චු ගැහුවා ද? ඇමති විජිත හේරත්ගෙන් පිළිතුරු

    October, 29, 2024

    මෙරට තුළ මේ මොහත වන විට අලුතින් මුදල් අච්චු ගැසීමක් කිසිඳු ආකාරයකින් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.

    අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පැවසුවේ බිලියනයක මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ බවට ප්‍රචාරය කරනු ලබන ප්‍රවෘත්ති සම්පූර්ණ අසත්‍ය බවයි.

    "මුදල් අච්චු ගැහීම ගත්තොත් ඇතෙන්ම අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නැහැ. කරන්න බෑ මොකද ඒක ඉතා පැහැදිලිව තියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. ඒ නිසා අපි එහෙම මුදල් අච්චු ගහලා නැහැ. ඉතින් එහෙම ගැහුවනම් ඔබට දැකගන්න පුළුවන් අපේ මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් ඕනම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයගේ අත්සන තියෙන්න ඕන. ඉතින් අනුර දිසානයක අපේ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නැහැ. එහෙම නෝට්ටුවක් තියනවානම් කියන්න. අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. තාමනම් එහෙම එකක් නිකුත්වෙලා නැහැ. ඉතින් ඒ නිසා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා එහෙම කියලා. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. එහෙම අලුතින් මුදල් අච්චු ගැහීමක් සිද්ධ වෙලත් නැහැ. අලුතින් ණය ගැනීමක් සිද්ධ වෙලත් නැහැ."