සහල් හිඟය මඬින්න ගබඩාවල වී එළියට. සහල් ආනයනය කරන්නත් පියවර ගනී

    December, 19, 2016

    උත්සව සමයේ සහල් සඳහා ඇති ඉල්ලූම සපුරාලීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග මිලදී ගැනීමටත් සහල් මෙට්ට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමටත්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (19) අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මේ යටතේ වී අලෙවි මණ්ඩලය සතුව ගබඩාවල ඇති සුදු සහ නාඩු වී මෙට්ට්‍රික් ටොන් විසි දහසක් වහාම මිලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කර ලංකා සතොස හරහා සහල් කිලෝවක් රුපියල් 78 ක මිලකට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නැයි සතොස ට නියෝග කළේය.

    එමෙන්ම වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාමට පිළියමක් ලෙස සහල් මෙට්ට්‍රික් ටොන් දස දහසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනය කර ලංකා සතොස හරහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස ද, බලධාරීන්ට නියෝග කර තිබේ.

    මේ වන විට වෙළෙඳපොළේ අධික මිලට සහල් විකිණීම නැවැත්වීමට ලංකා සතොස හරහා අඩුම මිලට සහල් අලෙවි කර වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වයක් ඇති කිරීම හරහා පාරිභෝගිකයින්ට අඩු මිලට සහල් ලබා දීමට මෙ තුළින් හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

    කුමන ආකාරයකින්වත් රට තුළ සහල් හිඟයක් මවා පෑමට ඉඩ නොතබන බවත්, උත්සව සමයේ වැඩි මිලට සහල් අලෙවි කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතබන බවත් එයට පිළියමක් ලෙස මේ කි්‍රයාමාර්ගයට එළඹි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මෙයට සමගාමීව පරිභෝගික අධිකාරියේ නියමයන් උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.