ස්ත්‍රී නියෝජනය පුළුල් කරමින් බ්‍රැන්ඩික්ස්, කාර්මික ශිල්පිනියන් 19 දෙනෙකු කරළියට ගෙනෙයි

    April, 28, 2016

    කාර්මික ශිල්පීන් සඳහා සමූහය තුළ පැවැත්වූ පාඨමාලාවක් සාර්ථකව නිමකළ බ‍්‍රැන්ඩික්ස් සාමාජිකාවන් 19 දෙනෙකු සමූහයේ කාර්මික ශිල්පිනියන් ලෙස උසස් කරමින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් තවත් පියවරක් තබා ඇත.

    කලකට පෙර පිරිමි පාර්ශවයේ ආධිපත්‍යයට නතුවූ මෙම රැකියාව වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් විසින් පැවැත්වූ මාස හතරක කඩිනම් පාඨමාලාව වෙනුවෙන් සමූහයේ ව්‍යාපාරික පර්ෂද හතරකට අයත් සාමාජිකාවන් 19 දෙනෙකු තෝරාගෙන තිබුණු අතර ඔවුන්ට වර්ග 10 කට අයත් මහන යන්ත‍්‍ර නඩත්තු කිරීමේ සහ අළුත් වැඩියා කිරීමේ තාක්ෂණික කුසලතාවයෙන් පිරිපුන් පුහුණුවක් ලබාදෙන ලදී. මෙම පාඨමාලාව පවත්වනු ලැබුවේ ඇඟලූම් තාක්ෂණය පිළිබඳ බ‍්‍රැන්ඩික්ස් විදුහලේදී (BCCT) යි.

    අවුරුදු 18-30 අතර වයසේ පසුවන මෙම බ‍්‍රැන්ඩික්ස් සාමාජිකාවන් මීට පෙර සේවය කළේ මැෂින් ඔපරේටර්වරියන්, තත්ත්ව පාලිකාවන් සහ සහායිකාවන් ලෙසයි. මෙම පාඨමාලාවෙන් පසුව මෙම සාමාජිකාවන් කණිෂ්ඨ කාර්මික ශිල්පිනියන් ලෙස උසස් කර තිබෙන අතර ඔවුන්ගේ වැටුප්ද වැඩිකර තිබේ. සමාගම පවසන්නේ පුහුණුවීම සඳහා සමූහය තුළ තවදුරටත් තිබෙන අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගනිමින් මොවුන්ට නඩත්තු විධායක සහ කර්මාන්තශාලා ඉංජිනේරු යන වෘත්තීන් දක්වා උසස්වීමේ අවස්ථාව තිබෙන බවයි.

    ‘‘මෙම කණ්ඩායමේ උනන්දුව සහ කැපවීම පිළිබඳවත් මෙම පුහුණුවේ සාර්ථකභාවය පිළිබඳවත් අපි අතිශය සතුටට පත්වෙනවා,’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් හි ඉංජිනේරු අංශයේ සමූහ ප‍්‍රධානී ඉරේෂ සෝමරත්න මහතා සඳහන් කළේය. ‘‘සම අවස්ථා රැකියා ලබාදීම වෙනුවෙන් කැපවන සමාගම් සමූහයක් ලෙස බ‍්‍රැන්ඩික්ස් විසින් සිය විධායක සහ විධායක නොවන කාර්ය මණ්ඩලය සඳහා රැකියාවේ ඉදිරිගමන සඳහා විවිධ වූ අවස්ථාවන් ලබාදෙනවා. මෙවැනි අවස්ථාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම දැකීම අපට මහත් ධෛර්යයක්.’’

    මෙම පාඨමාලාව හැදෑරූ කාර්මික ශිල්පිනියන් 19 දෙනා ප‍්‍රායෝගික පරීක්ෂණයක්, ලිඛිත පරීක්ෂණයක් සහ වාර්තා තබා ගැනීම අනුව ඇගයීමට ලක්කරන ලදී. මෙම කාර්මික ශිල්පිනියන්ගෙන් 07 දෙනෙකු ඉහළ විශිෂ්ට සාමාර්ථයක්ද අටදෙනෙකු විශිෂ්ට සාමාර්ථයක්ද ලබාගැනීමට මෙහිදී සමත්විය.

    ඇඟලූම් අපනයනයේ ශ‍්‍රී ලංකාවේ දැවැන්තම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් 2016 වසරේ මෙරට වඩාත් වටිනාම අපනයන සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරා ගන්නා ලදී. බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී.