November, 19, 2015
දකුණු ආසියාතික රටවල් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් සිය ගණනකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ ගර්ගන්හිදී ඊයේ (18) පැවැත්වුණු 05 වන දකුණු ආසියාතික කළාපීය බුද්ධි මණ්ඩල සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ බුද්ධි මණ්ඩල (Think Tank) සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සිය සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරගත යුතුව තිබෙන බවයි. මෙම කළාපීය සමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ තින්ක් ටෑන්ක් ඉනීෂියේටිව් (Think Tank Initiative) විසිනි.
වර්තමාන සංකීර්ණ ලෝක රටාව තුළ ප්‍රතිපත්තිමය කරුණු මගින් සිදුවිය හැකි ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාවය දැඩිව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු සහිතව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රතිපත්මය අභියෝගයන් පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාව විවිධ වූ සමාජ වැඩසටහන් සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරන බවත් ඒවායේ සාර්ථකත්වය ඇගයීම වෙනුවෙන් ශක්තිමත් සාක්ෂි රැස්කර ගත යුතුව තිබෙන බවයි. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවශ්‍යතාවයන් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් සමග බුද්ධි මණ්ඩල වඩාත් හවුල්වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර මේ තුළින් රජයන්ගේ ප්‍රමුඛතාවයන් අනුව සමීක්ෂණ න්‍යාය පත්‍රයන් සකස් කරගත හැකිබව පැවසීය.
ඉන්දියාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතාද මෙම බුද්ධිමතුන් ඇමතූ අතර ඔහු පෙන්වා දුන්නේ ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව අවධානය යොමුකරමින් ඉන්දියාවද බොහෝ අභියෝගයන් මේ වනවිට සාර්ථකව විසඳා ගනිමින් සිටින බවයි.
මෙම සමුළුව ඉන්දියාවේ “ද සෙන්ටර් ෆෝ පොලිසි රිසර්ච්“ (the Centre for Policy Research) විසින් සංවිධානය කළ අතර මේ සඳහා නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩල සාමාජිකයින් සහාගී වූ අතර ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය. ඔවුන් තම රටවල් මුහුණ දී තිබෙන අභියෝග මෙන්ම තිබෙන අවස්ථාවන් පිළිබඳවත් ඔවුන් සම්බන්ධ වී සිටින ජාතික, කළාපීය සහ ගෝලීය ප්‍රතිපත්ති කරුණුවල සාර්ථකත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළේය.
IPS සහ CEPA ආයතන නියෝජනය කරමින් ආචාර්ය සමන් කැලේගම මහතා සහ ආචාර්ය උදාන් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක්ද මෙම සමුළුවට සහභාගී විය.
සේයාරූ සටහන - ඉන්දියාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා සහ ද සෙන්ටර් ෆෝ පොලිසි රිසර්ච් හි, සභාපති ප්‍රතාප් භානු මහතා සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
Video Story