සාර්ක් කලාපීය නිර්බාධා වෙළද ප්‍රවර්ධන දෙවන පුහුණු සැසිය ඇරඹේ

    February, 26, 2016

    ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සාර්ක් කලාපීය වානිජ මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ නිර්බාධා වෙළද ප්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වෙන දෙවන වැඩමුළුව මෙම මස 29 වන දින සහ මාර්තු මස පළමු වන දින කොළඹ 3, හොටෙල් රේණුකා හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලාපීය රටවල් ද්වී පාර්ශවීය වෙළද කටයුතු තුළදී ඇති වන බාධක හදුනා ගැනීම, ඒ සදහා පිලියම් යෙදීම හා පසු විපරම් කටයුතු පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත වේ.

    සාර්ක් කලාපීය රටවල් අතර පවතින වෙළද සබදතා ශක්තිමත් කිරීම සදහා උචිත ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව සදහා කලාපීය සියලු රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිත වේ.

    මෙම වැඩසටහන පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වන ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා මෙසේ පැවසීය. “සාර්ක් කලාපයේ රටවල් අතර පවතින වෙළද සබදතා ශක්තිමත්ව පවත්වාගෙන යාම සදහා පවතින බාධා රැසක් අප හදුනාගෙන දීර්ඝව සාකච්ඡා කරමින් විසදුම් ලබා ගැනීම අපගේ අරමුණයි. එමෙන්ම නිර්බාධ වෙළද පරිසරයක් කලාපය තුළ නිර්මාණය කරමින් ශක්තිමත්ව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙහිදී සාකච්ඡා කරනු ලබනවා. මෙහි සාකච්ඡා කරනු ලබන සියලු කරුණු ප්‍රායෝගිකව වෙළද කටයුතු වලදී භාවිත කරමින් ඒ පිළිබද ප්‍රගති සමාලෝචන කටයුතු සිදු කිරීම ද අපගේ අපේක්ෂාව වී තිබෙනවා. විශේෂයෙන් රටවල් අතර පවතින නිදහස් වෙළද ගිවිසුම් සදහා අදාල එකගතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ. මෙම හේතුව මත කලාපීය රටවල් අතර පවතින වෙළද සබදතා යහපත් මට්ටමක නොපවතින නිසා මෙම මන්දගාමී වෙළද සබදතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට මෙවැනි අවස්ථා විශාල ලෙස වැදගත් වෙනවා.“