සැප්තැම්බර් උද්ධමනය ඉහළට

    October, 21, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ සියයට 4.5 හි සිට 2016 සැප්තැම්බර් මාසයේ දී සියය‍ට 4.7 දක්වා ඉහළ ගියේය. 2016 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.
    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 3.6 හි සිට 2016 සැප්තැම්බර් මස දී සියයට 3.8 දක්වා ඉහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.3 සිට 2016 සැප්තැම්බර් මාසයේ දී දර්ශක අංක 113.5 දක්වා ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා මධ්‍යසාර පාන හා දුම්කොළ කාණ්ඩයේ අයිතමයන් හි මිල ගනන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතුවිය. ආහාර කාණ්ඩය තුළ පළතුරු, ලොකු ළූණු, සහල් සහ පොල් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය. රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ නඩත්තු කටයුතු, අධ්‍යාපන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයෙහි මිල ගණන් ද 2016 සැප්තැම්බර් මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන සහ විනෝදාත්මක හා සංස්කෘතික උපකාණ්ඩයෙහි මිල ගනන් මාසය තුළ දී නොවෙනස්ව පැවතිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස පැවති සියයට 6 සිට 2016 සැප්තැම්බර් මස වන විට සියයට 5.7 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 5.6 හි සිට 2016 සැප්තැම්බර් මස වන විට සියයට 5.7 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.