October, 10, 2016
සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ නවතම නිෂ්පාදිතය වූ Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනයේ නිෂ්පාදන අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෙම මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනවල බැටරි පුපුරා ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලය පුරාවට වාර්තා වූ අතර එහිදී සමාගම කටයුතු කළේ අලෙවි කරන ලද සියලූම ඒකක යළි කැඳවීමටයි.
මෙම යළි කැඳවීමෙන් මසකට පසු Galaxy Note 7 තවදුරටත් නිෂ්පාදනය නොකිරීමට සමාගම තීරණය කර තිබේ.
දකුණු කොරියාවේ Yonhap ප්රවෘත්ති ඒජන්සිය විසින් මෙම පුවත මුල් වරට අද (10) දිනයේ දී අනාවරණය කරනු ලැබූ අතර දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය හා චීනයේ පාරිභෝගික ආරක්ෂණ නියාමකයින්ගේ උපදෙස් පරිදි තාවකාලිකව නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සමාගම පියවර ගෙන ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.