සිංගප්පූරුවෙන් හා මැලේසියාවෙන් කටුනායක ගුවන්තොටට තරු පංතියේ හෝටල් දෙකක්

    March, 29, 2017

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම සැලකිල්ලට ගනිමින් එම ගුවන්තොටුපළේ පිහිටි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016 05 10 වන දින අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ඉදිරිපත් වූ යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි මැලේසියාවේ, ඊසීඑම් ලිබ්රා ෆයිනැන්ෂල් ගෘප් බර්හැඩ් සහ සිංගප්පූරුවේ ටීපී රියල් එස්ටේට් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගම යන ආයෝජකයින් වෙත අදාළ ඉඩම් කොටස් දෙක හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා වසර 40ක කාලසීමාවකට බදු පදනම මත ලබා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.